පෘථිවිය නිර්මාණය හා මානව පරිනාමය

පෘථිවිය නිර්මාණය හා මානව පරිනාමය

සූර්යා කේන්ද්‍ර කර ගත් ග්‍රහ මණ්ඩලයේ ජීවින් පවතින එකම ග්‍රහලොව ලෙස සැළකෙන්නේ පෘථිවියයි. එය නිර්මාණය වී ඇත්තේ වසර මිලියන ගණනක් සිදු වූ පරිනාමයක ප්‍රතිඵලයක් ලෙසිනි. දැනට වසර මිලියන 5000කට පෙර සූර්යා වට කර ගත් කුඩා සහ විශාල පාෂාණ තිබී ඇති අතර ඒවා ගැටෙමින්, බිඳෙමින් නිරතුරුව විවිධ වෙනස්වීම් වලට භාජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ පෘථිවිය, ආරම්භක අවධියේ පැවතියේ විශාල ලෝහ ගුලියක් ලෙසිනි. දැනට වසර මිලියන 4500කට පෙර එම ලෝහ ගුලියක් ලෙස පැවති පෘථිවිය හා වර්තමාන අඟහරු ග්‍රහයාගේ විශාලත්වයට සමාන වෙනත් ග්‍රහලෝකයක් ගැටී තිබේ. එම සිදුවීම මහා පිපිරුම ලෙස හඳුන්වයි. මහා පිපිරුම නිසා එකිනෙක ගැටුණු ග්‍රහලෝක ද්විත්වය එකතු වී පෘථිවිය නිර්මාණය වූ අතර අවශේෂ පාෂාණ සුන්බුන් පෘථිවිය වටා වළල්ලක් ආකාරයට තැන්පත් වී තිබී ඇත. එම සුන්බුන් එකතු වී පෘථිවියේ උපග්‍රහයා වන චන්ද්‍රයා නිර්මාණය වී ඇත. එම කාලයේ දී පෘථිවියේ ස්වරූපය වර්තමාන ස්වරූපයට වඩා බොහෝ වෙනස් විය. එමෙන්ම එහි ජීවයක් පැවතීමට සුදුසු පරිසරයක්ද නොපැවතුණි. එම කාලයේ දි පෘථිවිය නිරතුරුව උල්කා වැසි පතිත වී ඇති අතර දැනට වසර මිලියන 3900කට පෙර ඇති වූ උල්කා වර්ෂාව ඒ අතරින් සුවිශේෂී වේ. එයට හේතුව වන්නේ එම උල්කා අංශු තුළ ජලය පැවතීමයි. ජල අංශු සහිත උල්කා වර්ෂාව වසර 20ක් අඛණ්ඩව ඇද වැටී ඇති අතර එමඟින් සාගරය හා වායුගෝලය නිර්මාණය වී ඇත. නමුත් එම වායුගෝලය තුළ තිබී ඇත්තේ අධික විශ සහිත වායූන් පමණි. සාගරය තුළ ද දරුණු කුණාටු හා ඉතා උස සාගර රැළි නිර්මාණය වෙමින් පැවතුණි. එසේම පෘථිවිය වර්තමාන භ්‍රමණ වේගය මෙන් හතර ගුණයක වේගයකින් භ්‍රමණය වීම සහ සැතැපුම් 14ක් වැනි ආසන්න දුරකින් චන්ද්‍රයා පිහිටා තිබීම නිසා තවමත් පෘථිවිය ජීවයක් ඇති වීමට සුදුසු තත්වයක පැවතුනේ නැත. කාලයත් සමඟ පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වීම හා චන්ද්‍රයා හා පෘථිවිය අතර පැවති දුර අඩු වීම සිදු වීමත් සමඟ පෘථිවි කබොල නිර්මාණය වෙමින් සාගරයේ කැළඹිලි ස්වභාවයද අඩු වී සාගරය නිශ්චල වීය. නමුත් පෘථිවි අභ්‍යන්තරය තවමත් අධික උණුසුමක් හා පීඩනයක් සහිතය. කාලයක් තිස්සේ පෘථිවි අභ්‍යන්තරය ගිනි ගෙන දැවෙමින් පෘතුවි කබොලට දරා ගත නොහැකි තරමේ පීඩනයක් නිර්මාණය වීමත් සමඟ ගිනි ගන්නා ලාවා අධික පීඩනයකින් එක් වරම සාගරය මතින් විදාරණය විය. එය පෘථිවියේ ගොඩබිම් නිර්මාණය වීමේ ආරම්භක අවස්ථාවයි. කබොල මත හටගත් කුස්තූර වලින් විධාරණය වූ ලාවා ඝනීභවනය වී සාගරය මත කුඩා දූපත් ආකාරයේ ගොඩබිම් නිර්මාණය විය.

පෘථිවියට පතිත වූ මුල්ම උල්කා වර්ශාවේ සිට වසර මිලියන 100කට පසු ඇති වූ උල්කා වර්ශාව පෘථිවියේ ජීවය බිහි වීමේ මූලාරම්භයයි. එම උල්කා වල ජීවය සඳහා බෙහෙවින් වැදගත් වන කාබන්, ඛනිජ ලවණ සහ ප්‍රෝටීන් අඩංගු වීම එයට හේතුවයි. එම මූලද්‍රව්‍ය සමඟ සාගර ජලය ප්‍රතික්‍රියා කර රසායනික සූපයක් නිර්මාණය වී ඒ තුළ ඒක සෛලික බැක්ටීරියාවක් නිර්මාණය විය. තවත් වසර මිලියන 300ක් පමණ ගත වන විට තවදුරටත් වර්ධනය වූ මේ බැක්ටීරියාව සාගර පතුලේ බැක්ටීරියා කොලනි නිර්මාණය කර ගෙන නිබී ඇත. එම බැක්ටිරියා කොලනි සූර්යාලෝකය ලබා ගෙන ප්‍රභාසංස්ලේෂණය සිදු කිරිමත් සමඟ නිපද වූ ඔක්සිජන් වායුව නිසා සාගරයට වර්තමානයේ පවතින නිල් පැහැය ලැබීමත්, වායුගෝලය පිරිසිදු වීමත් සිදු විය. කාලයක් ගත වන විට පෘථිවි අභ්‍යන්තරයේ සිදු වූ පීඩන වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස පෘථිවි තලයේ බෙදීම් ඇති විය. එම බෙදීම් නිසා හටගත් අභ්‍යන්තර චලන හා ගිලා බැසීම් නිසා සාගරය මතුපිට නිර්මාණය වී තිබූ කුඩා දූපත් එකිනෙක එකතු වී තනි ගොඩබිමක් නිර්මාණය විය. එය රූඩිනියාවයි. නමුත් තවදුරටත් පෘථිවිය මතුපිට පැවති අධික උෂ්ණත්වය හා සූර්යාගේ අහිතකර විකිරණ පතිත වීම නිසා පෘථිවිය මතුපිට පැවතියේ ජීවීන්ට අහිතකර පරිසරයකි. කාලයක් ගත වන විට අභ්‍යවකාශයේ ඇති වූ විවිධ සිදුවීම් හේතුකොට ගෙන පෘථිවියේ උෂ්ණත්වය රඳවා ගැනීමේ හැකියාව නැති වී ගොස් උතුරු හා දකුණු ධ්‍රැව වල සිට පෘථිවිය වටා අයිස් වර්ධනය වීම ආරම්භ විය. වසර මිලියන ගණනක් පැවති මේ අවධිය අයිස් යුගය (Ice Age) ලෙස හඳුන්වයි.

වසර මිලියන 540ක් තරම් දීර්ඝ කාලයක් පැවති අයිස් යුගය අවසන් වූ වග පෘථිවිය උණුසුම් වීමට ආරම්භ විය. පෘථිවි අභ්‍යන්තරයේ සිට ගලා ආ මැග්මා අයිස් වැස්ම දිය කර දැමීමට හේතු විය.  එම අවධිය වන විට වායුගෝලයට ඔක්සිජන් වායුව එකතු වීමත්, දිනයක් පැය 22ක් තරම් දීර්ඝ අගයක පැවතීමත් සුවිශේෂ තත්වයකි. මේ වන විටත් ජීවය පැවතුනේ සාගර අභ්‍යන්තරයේ පමණි.  දීර්ඝ අයිස් යුගය අවසන් වන විට සාගරයේ නිර්මාණය වූ ඒක සෛලික් ජීවීන් පරිනාමය වී සාගර අභ්‍යන්තරයේ පැළෑටි, බෙල්ලන් හා විවිධ ජීවීන් වර්ධනය වී පැවතුනි. නමුත් තවමත් සූර්යාගෙන් නිකුත් වූ අහිතකර විකිරණ නිසා ජීවීන් වර්ධනය සාගර අභ්‍යන්තරයට සීමා විය. දැනට වසර මිලියන 460කට පෙර වායුගෝලයේ ඔක්සිජන් පරිමාව ඉහළ ගොස් වර්තමානයේ පවතින මට්ටමට සමාන වීමත් සමඟ ඕසෝන් ස්තරය නිර්මාණය වීම ආරම්භ විය. වසර මිලියන ගණනක් ඕසෝන් ස්තරය වර්ධනය වීමෙන් අනතුරුව සාගරයට සීමා වූ ජීවීන් ගොඩබිමට සංක්‍රමණය වීම ආරම්භ විය. ඒ අනුව මත්ස්‍ය ජීවීන්ගේ යුගය අවසන් වී උභය ජීවීන්ගේ යුගය ආරම්භ විය. ජලය ආශ්‍රිත ගොඩබිමින් පටන් ගෙන ක්‍රමයෙන් ගොඩබිම් අභ්‍යන්තරය දක්වා ක්ෂීරපායි සතුන් පරිනාමය සිදු වූයේ ඉන් අනතුරුවයි.

දැනට වසර 315කට පෙර අවධිය වන විට පෘථිවි ගෝලය ජීවයෙන් පිරී පැවතුනි. එම අවධියේදී යෝධ ගස් සහිත වනාන්තර, විශාල කකුළුවන්, රාජාලියන් තරම් විශාල මැස්සන් ආදී විවිධ සතුන්ගෙන් සමන්විත ජෛව විවිධත්වයක් පැවතුණි. නමුත් වසර මිලියන 300කට පමණ පෙර පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වැසි වනාන්තර හා ඒ ආශ්‍රිත ජීවීන් බොහෝමයක් ද විනාශ වී යාමත් සමඟ පරිනාමයේ නව පරිච්ඡේදයක් ආරම්භ විය. වියළි කාළගුණය සමඟ පෘථිවි තලයේ ඉතිරි වූයේ කටුස්සන් වැනි උරඟයිනුත්, මීයන් වැනි කුරු ක්ෂීරපායි සතුන්ගෙන් පරිනාමය වූ සතුනුත් පමණි. වසර මිලියන 250කට පෙර සිදු වූ ගිනි කඳු පිපිරී යාම්, අම්ල වැසි හා විෂ වායූන් නිසා එම ජීවීන්ගෙනුත් 1% කටත් වඩා අඩු පිරිසක් ඉතිරි වී අනෙක් පිරිස විනාශ විය. මේ වන විට පෘථිවි ගෝලයේ පැවති මහාද්වීපය පැන්ජියාවයි (Pangea). ඉතිරි වූ ජීවීන් පරිනාමය වී ඩයිනසෝරයින් හා පොළව අභ්‍යන්තරයේ ජීවත් වන කුඩා මීයන් වැනි ක්ෂීරපායි සතුන් නිර්මාණය විය. මේ අතරින් ඩයිනසෝරයින් පෘථිවිය මත ඇති වූ කිසිඳු උපද්‍රවයකින් විනාශ නොවන අන්දමේ ශක්තිමත් සත්ව කොට්ඨාසයක් විය. ඔවුන්ගෙන් ආරක්ෂා වීම සඳහා කුඩා ක්ෂීරපායි සතුන්ට පොළව අභ්‍යන්තරයේ සැඟවී ජීවත් වීමට සිදු විය. නමුත් පෘථිවියට බාහිරින් ඇති වූ බලවේගයක් හේතුවෙන් වසර මිලියන 165ක් තරම් දීර්ග කාලයක් පැවති ඩයිනසෝරයින්ගේ යුගය අවසන් විය. අභ්‍යවකාශයේ සිට කඩා වැටුණු එවරස්ට් කන්දටත් වඩා විශාල උල්කාවක් නිසා පෘථිවිය මතුපිට ජීවත් වූ බොහෝ ජීවීන් විනාශ විය. ඩයිනසෝරයින්ගේ අවසානයද ඒ අයුරින් සිදු විය. නමුත් පොළව අභ්‍යන්තරයේ ජීවත් වූ ක්ෂීරපායි සතුන් එම උපද්‍රවයෙන් ආරක්ෂා විය. ඉතිරි වූ එම සතුන් පොළව මතුපිටට පැමිණ විවිධ සතුන් ලෙස පරිනාමය වෙමින් මිනිසුන්ගේ ආදිතම මුතුන් මිත්තන් ලෙස සැළකෙන වානරයින් බවටද පත් විය. වර්තමානයේ සිට වසර මිලියන 47කට පෙරදී පැන්ජියාව නම් තනි මහාද්වීපය බිඳී ගොස් වර්තමානයේ පවතින මහාද්වීප නිර්මාණය සිදු වී ඇත. එම අවධියේදී ඇති වූ දරුණු නියඟයකදී ජලය සොයා යාමට සිදු වීම නිසා ඇවිදීමට හුරු වීමෙන් වානරයින්, හොමෝසේපියන් මානවයා දක්වා පරිනාමය වූ බව පිළිගැනෙන මතයයි. එතැන් පටන් ගංඟා නිම්න ශිෂ්ටාචාර පසු කරමින් ශිෂ්ඨ සම්පන්න ජාතියක් බිහි වීම දක්වා මානව පරිනාමය විකාශනය විය. 

Rtr. දර්ශිකා සුභසිංහ

Share this content:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *