පුද්ගල සාර්ථකත්වය

පුද්ගල සාර්ථකත්වය

ජිවිතය ජය ගැනිම හෙවත් සාර්ථකත්වයට පත් වීම යනු අපි සෑම කෙනෙක්ම අපේක්ෂා කරන තත්ත්වයයි.  සාර්ථක පුද්ගලයෙකු වීමට මිහිපිට වෙසෙන සෑම පුද්ගලයකු පාහේ නිරන්තර උත්සාහයක යෙදෙන බව කිව හැකිය. මන්දයත් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය වූ කලී එක් රැයකින් ළගා වන්නාක් නොවේ. මෙහිදි සාර්ථකත්වය යනු කුමක්දැයි ප්‍රථමයෙන් අවබෝධ කර ගැනීම වැදගත්ය.  “සාර්ථකත්වය යනු අරමුණ ඉටුකරගැනීමයි,” යනුවෙන් සරලව හදුන්වා දිය හැකිය. නමුත්, මෙහිදී අරමුණ කෙසේ හෝ ඉටු කර ගැනීම නියම සාර්ථකත්වය නොවේ. කිසියම් පුද්ගලයෙක් තම අරමුණ ඉටු කරගැනීමට පෙලඹිය යුත්තේ අන් අයගේ අයිතිවාසිකම් වලටද බලපෑමක් ඇති නොවන අයුරිනි. මන්ද අන් අයගේ අයිතිවාසිකම් පැහැර ගනිමින් ලබන සාර්ථකත්වයෙන් කිසියම් හෝ ගත හැකි ඵලයක් නැති හෙයිනි. එවැනි සාර්ථකත්වයක චිරස්ථායී බවක් ද නොමැත.

පුද්ගලයෙක් සාර්ථකත්වයට පත් වීම ඉබේ සිදුවන්නාක් නොව, එය නිරන්තර උත්සාහයක ප්‍රතිඵලයකි. ඔබද මමද කිසියම් හෝ ක්ෂේත්‍රයක් ඔස්සේ සාර්ථකත්වයට පත්වන්නට උත්සාහ ගන්නෙකු විය හැකිය. නමුදු තවමත් ඔබ, මම සොයනා සාර්ථකත්වය අප වෙත ළං නොවී තිබීමට පුළුවනි. සාර්ථකත්වය ළගා කර ගන්නට උත්සාහ දරන්නෙකු යම් විෂය ක්ෂේත්‍රයට අදාළ අවබෝධයට අමතරව ගුරු කොට ගත යුතු ප්‍රධාන මුලධර්ම කිහිපයක් පවතී.මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ මෙලෙස කෙනෙක් සාර්ථකත්වය සොයා ගෙන යන ගමනේදී අනුගමනය කළ යුතු ඉතා වැදගත් මුලධර්මයක් සාකච්ඡා කිරීමයි. ඒ අනුව පුද්ගල සාර්ථකත්වයට අදාල පළමු පියවර සිහින දැකීම හෙවත් “Dreaming” ලෙස  හඳුන්වයි. අපි සැවොම සිහින දැකීමට පුරුදු විය යූතුය. එනම් සාර්ථකත්වය ළගා කරගන්නට උත්සාහ දරන්නෙකු තුළ අනාගතයේ ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? කුමන තත්ත්වයක්ද? යන්න පිළිබඳව සිහිනයක් නිසැකවම තිබිය යුතුය. ඔබ සාර්ථකත්වය බලාපොරොත්තු වන්නේ වෘත්තීමය හෝ ව්‍යාපාරික හෝ වෙනත් මොනයම් හෝ ක්ෂේත්‍රයකින් නම් ඔබ විසින් ඒ පිළිබඳ ගොඩනගා ගත් සිහිනයක් ඔබේ සිතෙහි සැමවිටම පැවතිය යුතුය.  “ඔබට අනාගතයේ  දී ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක් නොමැති නම් ඔබ ජිවත් වීමෙන් ඵලක් නැත,” යනුවෙන් වරෙක මාටින් ලූතර් කින්ග් ජූනියර් මහතා පවසා තිබේ. එයින් අදහස් වන්නේ මෙලොව ජිවත් වන සෑම පුද්ගලයෙකුටම ඉදිරි අනාගතයේදී ඉටුකරගැනීමට බලාපොරොත්තු වන කිසියම් සිහිනයක් හෝ සිහින තිබිය යුතු බවයි. එහිදි ඔබ සාර්ථකත්වයට දරනා සෑම උත්සාහයක්ම එම සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් යෙදවිය යුතුය.

මෙහිදී  ලෝකය වෙනස් කරපු මිනිසුන්, ජිවිතය ජයගත් මිනිසුන් යනාදී සෑම කෙනෙක්ම කුඩා කල සිටම සිහින දැකීමට පුරුදු වී සිටි අයයි. ඒ අනුව අනාගතය පිළිබඳ සිහින දැකීම වැදගත් මෙන්ම සිහින දැකීමේදි අපි පොඩි සිහින දැකිය යුතු නැත. ලොව පුරා ඉතා ජනප්‍රිය හෝටල් ජාලයක් වන හිල්ටන් හෝටල් ජාලයේ නිර්මාතෘ වන හිල්ටන් මහතා “you have big dream” එනම්, “ඔබට ලොකු සිහිනයක් තිබේ,” යනුවෙන් පවසා තිබේ. එසේ නම් ලොකුවට සිතිය යුතුය, ලොකුවට කටයුතු කළ යුතුය, ලොකු සිහින දැකීය යුතුය. මෙලෙස සිහින දැකීම යමෙකුගේ සාර්ථකත්වයට වැදගත් වන්නේ කෙසේදැයි පැවසුවහොත්, සිහින සිතුවිලි බවටත්, සිතුවිලි වචන බවටත්, වචන ක්‍රියා බවටත්, ක්‍රියා පුරුදු බවටත් පත් වන අතර, පුරුදු අපේ චරිතය තීරණයටත්, චරිතය තුළින් අපේ දෛවය තීරණය කිරීමත් සිදුවේ. මේ ආකාරයට අනාගතය පිළිබඳ සිහින දැකීම මෙතරම් වැදගත් වන්නේ ඇයි දැයි යන්න ඔබට පැහැදිලිය. සිහින තුළින් තමයි අපිට  නිශ්චිත අරමුණක් ලබාදෙන්නේ. එනම් අපේ ජිවිතයේදි ළගා කරගැනීමට අපේක්ෂිත අරමුණක් හෝ අරමුණු තිබිය යුතුය. මෙලෙස ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය අරමුණ ඇතිකර ගත යුත්තේ ඔබම විසිනි. හරියට ගමනාන්තය දැන ගමන් බිමන් යන්නා සේ අපි ඉදිරියේදී ඉටු කරගැනීමට බලාපොරොත්තු වන අරමුණ කුමක්ද යන්න නිශ්චිතව දැන සිටීම වැදගත් වේ. මේ සඳහා සෑම විටම ඔබේ මානසික තත්වය ධනාත්මකව තබා ගනිමින් ජිවිතය ගැන ලොකු සිහින දකින්න. එවිට එම සිහින සැබෑ කරදිමට ඔබේ යටිසිත සෑමවිටම ක්‍රියා කරනු ඇත.

Rtr. තරුෂිකා සෙව්වන්දි

Share this content:

Leave a Reply

Your email address will not be published.