උමතු සංකීර්ණය
දීප්තිමත් විදුලි බුබුළුවල ආලෝකයෙන් කදිමට බැබළෙමින් තිබූ අත් පළඳනා පෙළ දෙස බැලූ නෙලී තෘප්තිමත් සිනාවක් පෑවාය. ඇගේ මිතුරිය නිදහස් චතුරශ්‍ර සංකීර්ණයෙන් ලබාගෙන තිබූ වෙළඳ කුටිය ඉඩකඩ සහිත ස්ථානයක් වූ අතර, ආභරණ ප්‍රදර්ශනාගාරයකට ගැළපෙන ලෙස නවීකරණය කර ඇත. කුටියෙහි කෙළවර වූ කවුළු තුළින් සංකීර්ණයේ අනෙක් පස වූ ප්‍රතිමා සහ සුදු පැහැ ගොඩනැගිල්ල දැක ගත හැකි වූ අතර එහි ඇතුළත වෙළඳ කුටි කිහිපයක තවදුරටත් ආලෝකය දැල්වුණේ නැත. සංකීර්ණයේ රැඳී සිටිය හැකි කාලසීමාව ඉක්මවමින් තිබූ බැවින් වෙළඳ කුටිවලින් පිටව යන කිහිපදෙනෙකුගේ නොපැහැදිලි ඡායා නෙලීගේ අවධානයට හසු විය.
“නෙලී, මං පහළ තට්ටුවෙ ෂොප් එකකට ඇඳුම් වගයක් අරන් තියන්න කිව්වා. එයාලා යන්න කලින් ඒ ටික අරන් ඉක්මනට එන්නම්. සෙකියුරිටි එකෙන් ආවොත් කියන්න අපි තව විනාඩි දහයෙන් එළියට යනව කියලා.”
මුදු හා අත් පළඳනා කිහිපයක් වීදුරු අල්මාරි තුළ තැන්පත් කරමින් සිටි මිතුරිය නිෂ්කා හෙවත් නිෂී වෙත හැරුණු ඇය හිස වැනුවාය. අලුතින් විවෘත කළ මෙම වෙළඳ කුටිය නිසා මිතුරිය බොහෝ කාර්යබහුල වූ අතර සහයිකාවක් බඳවාගන්නා තුරු ඒ වගකීම නෙලී විසින් භාරගත්තාය. ඇගේ තාවකාලික රැකියාවේ පළමු දිනය වන අද දිනය සිතුවාටත් වඩා හොඳින් ගෙවී ගිය බව පෙනුණි.
නිෂී කුටියෙන් පිටව ගිය පසු නෙලී ඇතුළුවන දොර අසල ඇති අයකැමි මේසය වෙත ගියේ ආභරණ නාමාවලිය කියවා බැලීමටය. කුටියෙහි ඇති ඇතැම් පළඳනා පිළිබඳ ඈ සෑහෙන තරම් විස්තර දැන නොසිටි බැවින්, මිතුරිය එනතුරු එය කියවා බැලිය හැකිය.
ඇය නාමාවලිය අතට ගෙන කුටියේ කවුළුව පසෙකින් සවිකර තිබූ කුඩා වීදුරු රාක්කයක ඇති කරාබුවල තොරතුරු පිරික්සන්නට වූවාය. තුන්වන කරාබු යුගල දෙස බලමින් සිටි ඇයට කුටියට ඇතුළුවන අයෙකුගේ අඩි හඬ ඇසුණි.
“නිෂී මේ මෙතන තියෙන්නෙත් අර ඉස්සරහ චූටි ෂෝකේස් එකේ තියෙන ඒවාම නේද?”
තත්පර කිහිපයක් ගතවීත් පිළිතුරක් නොලද තැන නෙලී දොර දෙසට හැරුණේ මිතුරිය කුමක් කරන්නේදැයි බැලීමටය. නමුත් එහි කිසිවෙක් නොවූ අතර කුටිය පුරා දෑස් දිවෙව්වද එහි ඇතුළු වූ අයෙකුගේ ලකුණක් හෝ නොවීය. එය සිතේ මැවුණු ශබ්දයක්දැයි නෙලීට සැකයක් ඇතිවුවද කවුරුන් හෝ තමා දෙස බලා සිටිනවා මෙන් දැනුණු අමුතු සංවේදනයක් සමඟ ඇගේ සිරුර කිළිපොළා ගියේය. පෙරට වඩා තරමක සීතලක් – උණුසුම් අගෝස්තු මස රාත්‍රියකට නොගැළපෙන අසාමාන්‍ය සීතලක් – දැනෙද්දී ඇය වීදුරු රාක්කය වෙතින් ඉවතට පා තැබුවාය. නිෂී හෝ වෙනත් අයෙකු හෝ පැමිණියේ නම් ඔවුන්ගේ ගමන් මලු තබන කුඩා කාමර කොටස වෙත ගියා විය හැකිය. එදෙසට යාමට පය එසෙවුවද නෙලීගේ දෙනෙත් වම්පස තිබූ කවුළු වෙත යොමු වූ අතර ඇය ගල්ගැසුණාක් මෙන් එතැනම නතරවූවාය.
කවුළුවෙන් පිටත අංගනයේත්, ඉදිරියෙන් පිහිටි ගොඩනැගිල්ලේත් විදුලි බුබුළු සෑහෙන තරමක් නිවී ගොස් තිබුණු බැවින් ඇයට සිය ප්‍රතිබිම්බය කවුළු වීදුරුව මත දැකිය හැකි විය. නමුත් එහි ඈ තවදුරටත් තනිව නොසිටි අතර, ඇයට මඳක් පිටුපසින් යමෙකු සිටගෙන සිටියේය. සිරුරට වඩා ප්‍රමාණයෙන් ලොකු කලිසමක් සහ ලිහිල් කමිසයක් වැනි යමක් ඇඳ සිටි ඔහුගේ හිස හා නළල අවුල් වූ කෙසින් වැසී ගොස් තිබිණි. හිස් බැල්මෙන් වීදුරුව දෙස – නැහැ, ඇය දෙස – බලා සිටි ඔහුගේ මුහුණ හැඟීම් විරහිත එකක් විය.
සිටි තැනින් සෙලවීමටවත් සිහියක් නොවූ නෙලී කවුළුව දෙසම බලා සිටි අතර හඬනගා කෑ ගැසීම හෝ මෙතැනින් දිව යාම නුවණට හුරු බව ඇගේ මොළය සංඥා කළේය. නමුත් ඇගේ මුව අගුළු වැටී තිබුණු බැවින් ඇය අපහසුවෙන් හිස හරවා කවුළුවෙන් පෙනෙන ඡායාව සැබෑවක්ද යන්න තහවුරු කරගැනීමට උත්සාහ කළාය. ඇය තව තවත් බිය ගන්වමින් කුටියෙහි විදුලියද විසන්ධිව ගිය අතර එක් තත්පරයකින් හාත්පස අඳුරේ ගිලී ගියේය. බියෙන් ත්‍රස්ත වූ නෙලී කළයුතු දේ සිතාගත නොහැකිව අඳුරේම කුටියෙන් පිටතට දිව යාමට තැත් කළද, ආභරණ ප්‍රදර්ශනයට කුටිය මැද සවිකර තිබුණු වීදුරු රාක්කයක හැපී ඇය බිම ඇද වැටුණාය. දහඩියෙන් තෙමී තිබුණු මුළු සිරුරම පණ නැතිව යන බව දැනුණද ඇය අපහසුවෙන් දණ ගාමින් ඉදිරියට යන්නට වූ සැණින් නැවත විදුලි බුබුළු සියල්ලම දැල්වුණේ ඇයව තිගස්සවමිනි. මේ සියල්ලම සිදුවීමට ගතවූයේ තත්පර කිහිපයක් පමණක් වුවද, අධික ලෙස බියට පත්ව සිටි නෙලීට නම් එය පැය ගණනක් තිස්සේ දුටු නරක සිහිනයක් බඳු විය.
අපහසුවෙන් නැගිටගත් ඇයට තවදුරටත් එහි රැඳීසිටිම බිය ගෙන දෙන කරුණක් විය. තවමත් ඒ අසාමාන්‍ය සීතල පහව ගොස් නොතිබූ බැවින් ඇයට උවමනා වූයේ පිටව යන්නටය. පහළ මාලය වෙත, මිතුරිය වෙත යාමට කොරිඩෝරයට පිවිසි ඇය වෙනත් කවුරුන් හෝ – උදව් පතා යා හැකි සජීවී මනුෂ්‍යයෙක් – සිටී දැයි මඳක් නතරව බලා සිටියාය. නමුත් එම මහලේ ඔවුන් සිටි කොටස සම්පූර්ණයෙන් පාළුවට ගොස් තිබිණි. කොරිඩෝවේ විරුද්ධ පැත්තේ ඇති අවන්හලත්, ඊට මඳක් ඔබ්බෙන් ඇති ජනප්‍රිය දුරකථන සන්නාම කුටියත් වසා දමා තිබුණු අතර, මලානික එළියක් විහිදුවන විදුලි බුබුළු කිහිපයක් හැරුණු විට වෙනත් කිසිවක් ඇගේ උපකාරයට සිටියේ නැත.
යන්තමින් වෙවුලන දෙපා ඉදිරියට අද්දවමින් ඇයට යන්නට ලැබුණේ පියවර තුන හතරක් පමණි. නැවතත් විදුලිය විසන්ධි වූ ගොඩනැගිල්ලෙහි ඇය තනිව සිටියාය. ඉළඇට බිඳීයන තරම් වේගයෙන් ගැහෙන්නට වූ හදවතෙහි හඬ අසමින් ඇය තවත් පියවරක් අඳුරේම ඉදිරියට තැබුවාය. නමුත් තමා අසලින් ඇදීයන යමක හඬක් ඇසෙද්දී ඇය එතැනම නතරවූවාය. ඇයට ඇසුණු හඬ පැහැදිලිවම යමක් තල්ලුකරගෙන යන හඬක් වූ අතර ඒ සමගම කාගේ හෝ පියවර හඬක්ද ඇසුණු බව ඇයට විශ්වාසය. එය ඇය අසලින් නතරනොවී ඇයව පසුකර යද්දී ඇය කොරිඩෝවෙහි බිත්තිය අල්ලාගෙන මඳ දුරක් ඉදිරියට ඇදුණාය. ඒ කවුරුන් වුවද, අඳුරේම යමක් තල්ලුකරගෙන ඇවිද යා හැකි අයෙකු සාමාන්‍ය මනුෂ්‍යයෙකු විය නොහැකි බව ඇයට වැටහී තිබිණි. දැන් ඇය අවන්හලෙහි විශාල වීදුරු කවුළුව පසුකරයමින් සිටි බව නෙලීගේ ඇඟිලිවලට දැනුණු සීතල තහවුරු කළේය. ඒ සමඟම නැවතත් විදුලි බුබුළු දැල්වෙද්දී ඇගේ දෑස් නිරායාසයෙන්ම අවන්හල තුළට යොමු වූ අතර ඒ ඇතුළත සිටගෙන සිටි නොපැහැදිලි රුවක් දැකීමෙන් හා ලේ සීතල කරවන තරම් වේදනාබර කෙඳිරියක් ඇසීමෙන් නෙලීට උන්හිටි තැන් අමතක විය. අපහසුවෙන් පහළ මාලයට දිවෙන පඩිපෙළ වෙත දිවගියද ඇගේ සිරුරේ තව දුරටත් ශක්තියක් ඉතිරිව තිබුණේ නැත. පළමු පඩියට තැබූ අඩිය ලිස්සා ඇය තරප්පු කිහිපයක් පහතට ඇද වැටුණාය.
කෑ ගැසීමට තැත් කළද නෙලීගේ මුවෙන් පිටවූයේ සිහින් කෙඳිරියක් පමණි. වාසනාවකට මෙන් හිසට අනතුරක් නොවූවද ඇගේ සිරුර රිදුම් දෙමින් තිබිණි. නැවත සිටගැනීමට සිරුරට වාරු ගත් ඇය තරප්පු පෙළ නැග එන අයෙකුගේ හඬ ඇසීමත් සමඟ බියෙන් වෙව්ලා ගියාය. කෑගැසීමට සිරුරේ සියලු ශක්තිය එක්තැන් කරගත්තද, ඒ මොහොතේ එතැනට පැමිණියේ ඇගේ මිතුරියය. සුදුමැලිව, සිහිසුන් වීමට ආසන්න බවක් පෙන්වූ නෙලීට එතැනම හිඳගන්නට සැලැස්වූ නිෂී ඇසූ ප්‍රශ්න කිසිවකට ඈ පිළිතුරු නොදුන්නාය. මිතුරිය තමා අසල සිටීම ගැන සැනසීමට පත්ව ඇගේ මුහුණ වෙත නෙත් යොමුකළ නෙලීගේ දෑස් නතර වූයේ නිෂීගේ උරහිසට එපිටින් ය. කවුළුවේ වීදුරුවෙන් දුටු ඡායාව මෙන් සැරසී සිටි අයකු නිෂීගේ උරහිසට උඩින් නෙලී දෙස බලා සිටි අතර ඔහුගේ මැණික්කටු තුවාලවලින් වැසී ගොස් තිබිණි. කම්මුල්වල හා කමිසයේද ලේ පැල්ලම් තැවරී ඇති ඔහුගේ මුහුණ කෝපයෙන් දැවෙමින් තිබිණි.
“යනව යන්න මෙතනින්!”
ඔහුගේ හඬ නෙලීගේ හිස තුළ දෝංකාර දෙනවිට තවදුරටත් ඇගේ සිරුරේ ශක්තියක් ඉතිරිව තිබුණේ නැත. සිහින් කෙඳිරියක් නැගූ ඇය සිහිසුන් වූවාය.
දෑස් විවර කරන විට ඇය පඩිපෙළ මත වැටී සිටි අතර නිෂී පෙනෙන්නට නොසිටියාය. සමහරවිට ඈ උපකාරයට කවුරුන් හෝ කැඳවාගෙන එන්නට ගියා විය හැකිය. වටපිට බැලූ ඇයට අර කෝපයෙන් පිපිරෙමින් සිටි රුව තවමත් පසෙකට වී ගිනි ගත් දෙනෙතින් ඇය දෙස බලා සිටිනු දැකිය හැකි විය.
“මකබෑවියන්! ඔතන මගේ!”
ඔහු උගුර යටින් නැගූ ගෝරනාඩුවෙන් තිගැස්සී ගිය නෙලී ඉක්මනින් නැගිට ගෙන පඩිපෙළ පහළට දිවගියාය. නමුත් එක්වරම ඈ ඉද්ද ගැසුවාක් මෙන් මොහොතකට නතර වූවාය.
පඩිපෙළ පහළට වැටුණු වේලාවේ, නිෂී ඇයව දකින වේලාවේ ඇගේ සිරුර රිදුම් දෙමින් තිබුණා නේද?
හාස්කමකින් මෙන් සියලු වේදනා දුරුවුණේ කොහොමද?
ඇය හොඳින් තම සිරුර දෙස බැලුවාය. ඇද වැටුණු වෙලාවේ පිටතින් පෙනෙන තුවාලයක් නොතිබුණු බව ඇයට විශ්වාසය. ඇඟපතේ වේදනාවන්ද නැත්තටම නැති වී ගොස් ඇති නිසා ඉක්මනින් මිතුරියව සොයා ගත යුතුය. ඇය සමහරවිට තවමත් විවෘතව ඇති වෙළඳ කුටියක් සොයන්නට හෝ ආරක්ෂක නිලධාරීන් කැඳවා ගෙන එන්නට ගියා විය හැකිය.
පහළ මාලය අඳුරේ ගිලී ගොස් තිබුණු බැවින් ඇය දොරටුවෙන් පිටව යන්නට ඒ දෙසට හැරුණාය. එතැන ආරක්ෂකයන් දෙදෙනෙක් සිටි අතර, ඔවුන් සිහින් හඬින් කතාකළ දේ ඇගේ අවධානය පැහැරගන්නට සමත් විය.
“මං නම් කියන්නෙ මොකක් හරි දැකලා බය වෙන්න ඇති. උඩ තට්ටුවෙ මොකෙක්වත් හිටියෙත් නෑනෙ.”
“ඒ වුණාට ඔච්චර කාලයක් ඉඳලා මමවත් මුකුත් දැකලා නෑනෙ.”
“හැමෝටම හොල්මන් අවතාර පේනවයැ? ඇයි මතක නැද්ද කලින් හිටිය මාරෙ අයිය කිව්වෙ ඔය වගේ සිද්ධියක්?”
“මොකද්ද? මං එදා ඉන්ඩ නැතුව ඇති.”
“ඇයි බන් අර මීට අවුරුදු හතර පහකට කලින් මෙහෙ ආව කොල්ලෙක් බය වෙලා තිබුණෙ. ෂොප් එහෙම වහන වෙලාවේ පඩිපෙළේ සුදු ඇඳපු මනුස්සයෙක් යනව දැකල කොහෙද යන්නෙ බලන්න ඒ කොල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා. පඩිපෙළ උඩටම ගියාම සුදු ඇන්ද එකා ආපහු හැරිලා, ‘යනව යන්ඩ මෙතනින්’ කියල මහ හයියෙන් කෑගහලා. මූණෙ ලේ ගැවිච්ච යකෙක් වගේ එකෙක්ලු. අවසිහියෙන් වගේ කොල්ලා එළියටම දුවලා තිබ්බා හැබැයි. ඒ ළමයත් මෙතනින් එළියට දුවන කොට වැටිලා අනූනමයෙන් බේරිල තියෙන්නෙ. ඒ වගෙ මොකක් හරි දැක්කද දන්නෑ. දැක්කද කෙල්ලගෙ මූණෙ සුදුමැලි පාට?”
යම් අමුත්තක් දැනුණු නිසා නෙලී තවත් ඔවුන්ට ළං වූවාය.
“ඔය කොච්චරවත් අහපු දැකපු අය කියල තියෙන්නෙ ට්‍රොලියක් තල්ලු කරන් යන සද්දයක් ඇහෙනවා, දොස්තර කෝට් දාපු කෙනෙක් දැක්කා කියල. අර උඩ තට්ටුවෙ තනියම ඉන්න කොට ඔහොම එකක් දැක්ක නම් බය නොවී ඉඳියිද? කවුරු කොහොම කිව්වත් මේ අවුරුදු ගාණකට කලින් මානසික ලෙඩ්ඩු දාල හිටපු තැනක්නෙ. ලෙඩ්ඩු කාමරවල බැඳල දාල එහෙමත් ඉඳල තියෙනව කියන්නෙ. මිනිස්සු ගැවසෙන එක ටිකක් අඩු වෙනකොට ඔය එක එක හොල්මන් අවතාර එළියට එනවා. කොහොමහරි ඒ ළමයගෙ ජීවිතේ බේරුණා නම් ඇති.”
එය නම් ඉටු නොවන ප්‍රාර්ථනාවක් බව දැන් නෙලීට පැහැදිලිය. ඉතින් ඇයට රැඳී ඉන්නට සුදුසු තැනක් සොයාගැනීම වඩාත් සුදුසු බව පෙනෙයි. අර ගෝරනාඩු දෙන රෝගියා පඩිපෙළ අයිති කරගෙන අවසන් ය. සමහරවිට ඇයට කොරිඩෝව, සුවඳවත් ආහාරවලින් පිරුණු අවන්හල හෝ අඳුරේ ගිලුණු සිනමා හල වාසස්ථානය කරගත හැකිය. ටික කලක් ගත වූ පසු වීදුරුවලින් පෙනුණු අද්භූත ඡායාවලටත්, මිනිසුන් නැති විට මෙහි සැරිසරන්නන්ටත් ඇය බිය වූයේ නිකරුණේ බව ඇයට වැටහෙනු ඇත – අඳුර වැටුණු විට ඔබමොබ යන මිනිසුන්ගේ කනට රහස් කෙඳිරීම හෝ පිටට තට්ටු කොට ඉක්මනින් පිටව යන ලෙස පැවසීම විනෝදයක් වනු ඇත.
Rtr. හේෂානි ධර්මපාල
Share this content:
4 COMMENTS