පද වැලක නුවණැස
“පුංචි බලු රාළේ – මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ – පෙරළ පෙරළා හිටියෙ මිදුලේ”
පොඩි කාලෙ නුඹ වගේ ම මමත් මම වගේ ම නුඹත් අපි හැමෝ ම මේ පද හතර කිය කියා ගේ දෙක වෙන්න කෑ ගහල ඇති. එදා තමන් ගෙදර නැති වෙලේක තමන්ගෙ බෝලෙත් අරගෙන මිදුලෙ නටපු පුංචි බලු රාළට අපි මේ පද හතර ආමන්ත්‍රණය කරන්නට ඇති.
ඒත් අද! නුඹ මේ පද හතර දකින්නෙ මොන කෝණයෙන් ද? නුඹ මේ පද හතරට දෙන්නෙ මොන වගේ වටිනාකමක් ද? කවදා ම හරි මේ විදියටත් හිතල තියනවද? නුඹේ වටිනා වේලාවෙන් අරික්කාලක් වෙන් කරල කියවල බලන්න…
‘ස්වාමිපුරුෂයා’ සහ ‘භාර්යාව’; හුදු අර්ථහීන වචන දෙකක් පමණක් ම නම් නෙවෙයි. සංස්කෘතියට මහා වටිනාකමක් ආරෝපණය කරල තියන ආසියාකරයේ, විවාහය කියන්නෙ කටු ගාන්න පුළුවන් ලියවිල්ලකට සීමා නොවූ, ඕනෑම කෙනෙක්ගෙ ජීවිතයේ තවත් එක වැදගත් සංධිස්ථානයක්. මේ විදියට විවාහ ජීවිතයේ ගත කරන පවුලක, දවසක් පුංචි සාදයක් සංවිධානය කරනවා; ඒ… ස්වාමිපුරුෂයාගේ මිතුරු කැළ වෙත. ස්වාමිපුරුෂයාටත් වැඩි වෙනසක් දැනෙන්නෙ නෑ… තමන්ට වඩා ටිකක් වයසින් බාල, තමන් ළඟින් ම ඉන්න මිතුරෙක්, භාර්යාවට ටිකක් සමීප වෙනවා. සංස්කෘතිය, සම්ප්‍රදාය, විවාහය කියන මේ වචන කොයි තරම් නිසංසල වුණත් මිනිස් හිත හරි චංචලයි. ඒක තමයි ලෝක සත්‍යය!
කාලය ඔහොම ඉගිලෙනවා. ටික දවසකට පස්සෙ උදා වෙච්චි එක්තරා දවසක, ස්වාමිපුරුෂයා රැකියාවට ගිහින් එනවා. ගෙදරට අඩිය තියද්දි ම, ඔහුට පොඩි අමුත්තක් නොදැනුනාමත් නෙවෙයි. වෙනදා තමන් එන වෙලාවට බුලත් හෙප්පුවත් අරගෙන ම තමන්ව පිළිගන්න එන බිරිඳට අද මහා ලොකු හිසේ රුදාවක්. බෙහෙත් ගන්න ඇහුවම ඒ ඕනෙත් නෑලු! ටිකක් ළං වෙලා නළලට අත තියන්න යද්දි, ස්වාමිපුරුෂයා දකිනවා, බිරිඳගෙ ගෙල වටා තැනින් තැන රත් පැහැ ගැන්විලා. තවත් තැන්වල නිය පහරවල්. මේ ඉවසිලිවන්ත ස්වාමිපුරුෂයා වෙනසක් නොපෙන්වා ම, බිරිඳට බෙහෙත් පෙති දෙකකින් සංග්‍රහ කරල, ඇගේ දුරකතනයත් අරගෙනම ඈට නොදැනෙන විලසට ටිකක් ඈතට යනවා. ඔහු දකිනවා අන්තිම ඇමතුම් හය ම තමන්ගෙ පෙර කී මිතුරගෙන් බව. සිදු වූ දේ නොතේරෙන්න තරම් අන්ධයෙක්, ගොළුවෙක්, බිහිරෙක් නෙවෙයිනෙ මොහු! ඒ වුණත්, මොහු දන්නවා මේ රාමුගත සම්ප්‍රදායන්ට හිරවුණු සමාජය ඇතුළෙ, තැලි තියල රජ ඇඳුම් ඇදල පෝරුවෙ නැගලා, මඟුල් කඩදාසියකුත් මුළු ලෝකෙටම පේන්න අත්සන් කළාට පස්සෙ, ඒ කඩදාසිය කටු ගාන එක හිතන තරම් ලේසි නැති වග.
ඉතිං මේ අපූරු ස්වාමිපුරුෂයා මොකද දන්නවද කරන්නේ? “බල්ලෝ… මම රාස්සාවට ගිය ටිකට උඹ මගෙ ගෑනිත් එක්ක මොන නාඩගමක් ද නැටුවේ? බැඳපු ගෑනියෙකුගෙ ගෙමිදුලට ගොඩ වදිනව නොදකියි ද රටේ උන්?” කියන ප්‍රශ්නෙ තමන්ගෙ මිතුරට ඇමතුමක් අරගෙන මෙන්න මේ විදියට ප්‍රශ්න නගනවා;
“පුංචි බලු රාළේ – මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ – පෙරළ පෙරළා හිටියෙ මිදුලේ”
Rtr. ලෝචනා ප්‍රමුදි
Share this content:
Leave a Reply