ආත්මයන්ගේ මහා අඩවියේ හාස්‍ය සොයා ගිය ගමන
අක්කර 50කට වඩා විශාල භූමියක් ඇති, සුදු ඇඳගත් කතුන්, කළු සුනඛයන්, තවත් නොයෙක් විදියේ කතා නිතරම ඇසෙනා බොරැල්ල සුසානභූමි අඩවියට සන්ද්‍යායාමයක පය තියන්න අපට තිබ්බේ ලොකු කුතුහලයකි. මමත්, සිද්ධි, ලූකා, හස්ති, විලන් සහා කේෂව මේ ගමන යන්න කාලයක් තිස්සේ බලන් හිටියේ ඔය කියන විදියේ දේවල් ඇත්තටම සිද්ද වෙනවාද යන්න හරි ඇහැකින් බලාගන්න තිබ්බ ආසාවටමයි. කතා කරගත්තු විදියට අපි 6 දෙනා දවසක මහා මුරකරුගේ අවසරය ඇතිව රාත්‍රී 9 ට පමණ, බොරැල්ල සුසානභූමියට පය තියන්නේ හාස්‍යජනක අත්දැකීමක් අපේක්ෂාවෙනි. ප්‍රධාන ගේට්ටුවෙන් සුසාන භූමි පරිශ්‍රයට ඇතුළු වු වහාම මහත් නහුරු නුපුරුදු ගතියක් දැනෙන්නට පටන් ගත්තේ අමුතුම විදියක සීතලකුත් සමඟයි. බොරැල්ල සුසාන භූමියේ රාත්‍රී චාරිකාව ඒමට කලින් අපි එහි භූමි ප්‍රමානයත්, සුසාන භූමියේ මධ්‍යත්, විවිධ ස්ථාන හදුනා ගැනීමට උදව් වෙන විශාල ගස්, සොහොන් කොත්, සහ ගොඩනැගිලි ගැනද දැනුවත්ව සිටියෙමු. ප්‍රධාන මුරකරු වගේම පසුව හමුවු තවත් සහය මුරකරුවන් අපිට කියා සිටියේ කිසිවිටෙක තනි තනිව බෙදි සුසාන භූමිය පුරා ඇවිද නොයන ලෙසටත්, සුසාන භූමියේ හරි මධ්‍යට වන බෞද්ධ හින්දු සොහොන් කොත් පසුකර ක්‍රිස්තියානි සොහොන් දෙසට යන විට වැඩිය හැරෙන්නට, පසුපස බලන්නට නොයන ලෙසටත්, කළු සුනඛයා හැකිතාක් මඟහැරිය යුතු බවටත් සහ අවසන් වශයෙන් කිසිසේත්ම කළු ඌරන්ට ලං නොවන ලෙසටත්ය. ප්‍රධාන මුරකාර මහතා තවත් බිය නැංවෙන සුළු කතාවක් අපට කීවේය. ඒ සුසාන භූමි අරක්ගත් ජයසේන නොහොත් පුරාණ ජනප්‍රවාදයේ සිටිනා දසමහා යෝධයින්ගෙන් කෙනෙක්ව සිට පසුව සිදුවු සිද්ධියක් නිසා යක්ෂයෙක් බවට පත්වු මහාසොහොන් යක්ෂයාගේ පරීක්ෂාවන්ට හසු නොවන ලෙසටත්ය. මෙකී උපදෙස්ද සිතේ තියාගෙන අපි කනත්තේ ඇත්තටම හොල්මන් ඉන්නවාද බලන්න ආ ගමන ඇරඹුවෙමු.
ගමන් පටන් ගත් විගසම පාර හරහා දුවපු කැලැ හාවෙක් නිසා තව පොඩ්ඩෙන් අපිට ගමන එවේලෙම නතර කරන්න සිදුවන්නේ හිතේ තිබ්බ තැති ගැන්ම නිසාවෙනි. කොහොම වුණත් අද මේ කනත්තේ හොල්මනක් හැබැ ඇහින් දැකලා මිසක් ගෙදර යන්නැ කියන කාරණාව අපි හැමෝගෙම හිත් වල තිබ්බා. අපි 6 දෙනා කනත්ත මධ්‍යට එකට ගිහින් මැදදි දෙපසකට බෙදිලා යන්න තීරණය කරා. විශාල නුග ගසත් එක්කම ක්‍රිස්තියානි සොහොන් කොත් පෙනෙන යාමය කනත්තේ හරි මැදට අපි ආසන්න බව සිහි කරා. වෙලාව රාත්‍රී 10 පසු වී ඇත. කනත්ත මැද්දට ආපු අපි කලින් ගත්තු තීරණය හරිද කියලා හිත හිතා ඉන්න ගමන්, සිද්ධි කිව්වා “අන්න බලපන් කව්ද මේ පැත්තට එනවා බං, අර අර පාරෙන්මයි එන්නේ හැබැයි” අපි ඒ දිහා බැලුවා. මැදි වයසක වගේ කෙනෙක් සාමාන්‍ය ගමනකින් අපි දිහාට එනවා, ක්‍රිස්තියානි කොටස පැත්තේ ඉඳලා. මම එකවරම කිවේ ඔය නම් එන්නේ අර ජයසේන වෙන්න ඕනි බං කියලයි. හැමෝම ඒ එන කෙනා දිහා බලන් ඉන්න ගමන්, හස්ති පැවසුවේ “අඩෝ කවුරුත් දුවන්න එහෙම එපා, පොඩ්ඩක් ළඟට එනකන් බලමු” කියලයි. ආපු කෙනා එකවරම නතර වෙලා අපි දිහා බලලා හිනා වෙලා, ඔහෙලා මොනවද මේ වෙලාවේ මේ මහ සොහෝනේ කරන්නේ කියලා ඇහුවා. අපි ආපු කාරනවා කීවාම ආගන්තුකයා මදක් සිනාසී ආපු දිහාවටම යන්න පටන් ගත්තත්, ඒ වෙලාවෙයි අපි දැක්කේ එයාට හෙවනැල්ලක් නැති බව. කනත්තක් වුණාට බොරැල්ල කනත්තේ තැන තැන ලයිට් තියෙනවා, අපි ගාවත් ටෝර්ච් එහෙම තිබ්බා. අපි තිබ්බ කුතුහලය බයට වඩා ලොකු හින්දා ආගන්තුකයා යන දිහාවට පොඩ්ඩක් විපරමින් බැලුවා. මෙන්න එයා එන්න කොට වෙලා එක සැරේටම කළු බල්ලෙක් වුණා. මට හීන් දාඩිය දැම්මා, මම එවෙලේම කිවේ “ඔය නම් අර කියපු ඩයල් එකම තමා බං, ඔහාට යන්න එපා, මතකනේ කළු බල්ලව මගහරින්න කිව්වා මුරකාරයෝ” කියලයි. “අඩෝ ඔව් බං ඕකා ඔය ක්‍රිස්තියානි සොහොන් පැත්තට එන්න එපා කියලා අපිට අනතුරු ඇඟෙව්වා වෙන්න පුළුවන්” කනත්තට ආපු වෙලේ ඉඳන් නිහඬව හිටපු ලූකා එහෙම කිව්වා. “ඒක හරි බං, මාත් කතා අහලා තියේ ඔය යකා මිනිස්සු තනි කරලා ළඟට ගෙන්න ගන්න එක එක ඒවා කරනවාලු, කිසිම දේකට කට්ටිය තනි නොවී ඉන්න එක තමා හොඳ” ලුකාගේ කතාවට එකඟ වෙමින් එහෙම කීවේ විලන්.
ආගන්තුකයා හිටි හැටියෙම සුනඛයෙකු වනු දැකලා අපි තාමත් අන්දුන් කුන්දුන්. ටික වෙලාවකින් මෝටර් සයිකලයක නැගලා මුර කාරයෝ දෙන්නෙක් අපි හිටපු තැනට ආවා. අපේ බය ටිකක් නිවුනා එකේන්. “මල්ලිලා මොකෝ කාව හරි දැකලද මේ බය වෙලා 6 දෙනාම?” ආපු එක මුර කාරයෙක් එහෙම ඇහුවේ හිනා වෙලා. මම වාඩි වී හැටපු තැනින් නැගිටලා “ඔව් අයියේ නිකන් අවුරුදු 40ක වගේ ඩයල් එකක් ආවා, එයා අපෙන් මෙතන මොකද කරන්නේ කියලා ඇහුවා”. “අපිට නම් ඔවා පුරුදුයි බං, ඒ ආපු කෙනා කොයි පැත්තෙන්ද ආවේ? එහෙම ඇහුවේ බයිසිකලේ ඉස්සරහ හිටපු මුරකාරයා. එතකොට හස්ති කිව්වේ “ඌ ආවේ නම් ක්‍රිස්තියානි සයිඩ් එකෙන්, ආයේ ඒ පැත්තටම ගියා, හැබැයි යද්දි හිටියේ කළු බල්ලෙක්, අපිව තාම ශොක් වෙලා වගේ අයියේ” කියලයි. “හම් හම් උඹලා මේ ඉන්නේ ලංකාවේ ලොකුම කනත්තේ, මේවයේ අරගත්තු උන් ආගන්තුකයෝ එනවට කැමති නැ. උඹලා හොඳ වෙලාවට ඒ පැත්තට නොගියේ. තව ඇවිදින්න ඕනි නම් ක්‍රිස්තියානි සොහොන් පැත්තට නොයා අන්න අර පේන පන්සල පැත්තට යන්න, නැත්තම් වෙන දිහාක යන්න” එහෙම කිවේව බයිසිකලේ පිටිපස්සේ ආපු මුරකාරයා. අනිත්මුරකාරයා බයිසිකලේ ස්ටාර්ට් කරන ගමන් “අපි ආයේම මේන් ගේට් එක පැත්තට යනවා එහෙනම්, මල්ලි කොහේ හිටියත් 12 වෙද්දි මේන් ගේට් එක පැත්තට එන්න. මතකනේ ක්‍රිස්තියානි සොහොන් පැත්තේ නොයන තරමට තමා හොඳ” යැයි කිව්වා. එහෙම කියලා ආපු මුරකාරයෝ දෙන්නා යන්න ගියා.
අපි අයේම ගමන පටන් ගත්තේ ලොකු හිතේ දෙගිඩියාවක් තියාගෙන. “මේකේ තව මොන මල යකා ඉන්නවද දන් නැ, අපි එක්කෝ හැරිලා යමු බං” කේෂව එහෙම කිව්වා. එතකොටම හස්ති “ඔහොම ඉන්න බං මෙච්චර ආපු එකේ පන්සල පැත්තටත් ගිහින් යමු, බයවෙන එකත් හැමදාටම නෙවේ නේ” එහෙම කිව්වා. මමත් කතාව මැද්දට පනින ගමන් කිව්වේ “පන්සල පැත්තේ තමා අර සුදු ඇඳ ගත්තු ගැණු කෙනෙක් ඉන්නවා කියන්නේ, අපි එයාවත් බලලමු යමු” කියලයි.
කලින් ආපු මුරකාරයෝ දෙන්නා කියපු විදියට අපි පන්සල පැත්තට ගියා. පන්සලක් කිව්වට ඒක බණ මන්ඩපයක්. එතැනට යන පාර දිගේම මී දුම. දෙපැත්තෙන් කට්ට කළුවරයි. මට වගේම හස්තිටත් කේෂවටත් එක එක අමුතු ශබ්ධ ඇහුණා. අනිත් අයට ගානක් නැ වගේ. අපිට ඇහුණ ශබ්ධ ගෑණු කෙනෙක් කොඳුරනවා වගේ. හරි අමුතුයි. ආත්මයන් අපිට කතා කරන්නවත් හදනවාද? ඔන්න දැන් තැනට ආවා. එතැන ඉස්සරහ බන්කුවක් තිබ්බා. ඒකේ වාඩි වෙන අයව බිමට තල්ලු කරනවා කියලා කතාවක් මම අහලා තිබ්බා. මම ඒක යාළුවොන්ට කිව්වම, ලූකා එතැන වාඩි වුණා. “කෝ බං තල්ලු කරේ නැනේ” ලූකා කීවා”. “තනියෙම බං ඉන්න ඕනි, මෙතන දැන් තව අපි පස් දෙනෙකුත් ඉන්නවනේ” විලන් කීවා. පස්සේ අපි හය දෙනා අර කිව්ව මන්ඩපේ පැත්තට ගියා. එතන තැන් දෙක තුනක ලයිට් දාලා තිබ්බා. ඒ මදිවට එතනත් මීදුම. “මෙතන නේද අර කිව්ව සුදු ඇඳගත්ත ගෑණු කෙනා ඉන්නවා කීවේ” මම ඇහුවා. සිද්ධි උත්තර දෙමින් “කට්ටිය මෙතන මීදුමට බය වෙන්න ඇති බං”. ”පොඩ්ඩක් ඉන්නකෝ අපි ඇවිදලා බලමු කියලා” හස්තියි, ලූකායි අනිත් පැත්තට ගියා අඳුර මැදින්ම. මමයි, විලනුයි, සිද්ධියි, කේෂවයි හිටපු තැනම ඉද්දි අපි දැක්ක අර කතා වුණ විදියේ සේයාවක් වගේ මන්ඩපේට එලියෙන් අනිත් දෙන්නා ගිය පැත්තට ඇදෙනවා වගේ. “අන්න බලන්න අර, අර සේයාවක් නේද බං? ඒ මොකද්ද” විලන් ඇහුවා. “අපි කෝකටත් අනිත් දෙන්නවත් අඩගහගෙන මෙතනින් යමු බං” මම කිව්වා. එහෙම හිතලා, හස්තිවයි, ලූකාවයි අඬ ගහගෙන අපි හය දෙනා ආයේම ප්‍රධාන ගේට්ටුව පැත්තට යන්න ගත්තා. වෙලාවත් රෑ 11.30 ළඟයි. යන ටිකට මට මහ අමුතු හැඟීමක් දැනුණේ කව්රු හරි පස්සෙන් එනවා වත්ද කියලයි. නිකමට හේමීට හැරිලා බැලුවම මෙන්න සුදු ඇඳගත්තු අර කලින් කතා වුණ විදියෙම ගැණු කෙනෙක් ඉන්නවා බලාගෙන අපි දිහා. “බුදු අම්මෝ මේ කව්ද බං මේ” මට කෑ ගැස්සුනා. අනිත් පස්දෙනාත් අර කියපු දිෂ්ඨියව දැක්කා, හොඳටම බය වෙච්ච අපි ගේට්ටුව පැත්තට දුවන්න පටන් ගත්තා. අපි දුවපු දිවිල්ලට කනත්තේ ඉන්න බල්ලෝ කීප දෙනෙකුත් අපේ පස්සෙන් ආවා, ඒකෙන් තව බය වැඩි වුණ එකයි වුණේ. කොහොමෙන් කොහොම හරි යන්තම් ඔන්න ගේට්ටුව ළඟට ආවා. අපිට හොඳටම හති. එතන හිටියා කලින් බයිසිකලේ ආපු මුරකාරයෝ දෙන්නත්. “මල්ලිලා මොකෝ මේ? කාව හරි දැකලා වගේ ආයේම” මුරකාරයෙක් ඇහුවා. අපිට කතා කරගන්න බැරි තරමට හති. ටිකක් හති ගියාට පස්සේ වුණ සිද්ධිය මුරකාරයන්ට කිව්වා. “ඒකනේ බං අපි කලින්ම කිවේ. මේ පෙළවට අරක්ගත් අය ආගන්තුකයන්ට කැමති නැ. උඹලා ඔය දැකලා තියෙන්නේ ටික කාලෙකට කලින් අර පේන හන්දියේම වාහනේකට හැප්පුන දැරිවියක්. එයත් දැන් අපේ පාලුවට මේ කනත්තේ ඉන්නවා” මුරකාරයෙක් කීවේ. “මදැයි ගෝස්ට් හන්ටින් බලලා, හොල්මන් බලන්න කනත්තට අපු අපි ඔයෙන් ගියා මදැයි” ලුකා එහෙම කිවේ දාඩිය පිහිදන ගමන්.
කනත්තේ චාරිකාව අවසන් එහෙනම්. රෑ 12ත් පහුවෙලා හින්දා, ටවුන් එකේ රෑ හොටලෙකින් පොඩියට දෙයක් කාලා අපි ගෙවල් වලට යන්න පිටත් වුණා. කන අතරත් අපි කතා වුණේ ආයේ නම් මේ වගේ පිස්සු ගමන් නොයා ඉන්නයි. නොපෙනෙන බලවේග තවමත් අරක්ගත් භූමි මේ රටේ ලෝකේ තියෙනවා කියන එක අපි හොඳටම තේරුම් ගත්තා එදා.
Rtr. යොහාන් රොමේෂ්
Share this content:
1 COMMENT