365 Days at the University!

365 Days at the University!

පිනි පොද වැස්සක් බිම තෙමන හවස් වෙලාවක ඒ හැගීම විදගෙන පොතක් කියවන එක හරිම වෙනස් හැගීමක්. අද හවස මං හිතුවා ඒ වැස්ස දිහා බලගෙන මේ වචන ලියන්න. අනධ්‍යන වැඩවර්ජනය නිසා කැම්පස් එක වහලා ගෙදරටම කොටුවුණු 49 වෙනි දවස අද. සහ වැදගත්ම දේ මේ මාසේ වෙද්දී මං කැම්පස් ඇවිත් හරියටම අවුරුද්දක්! සමහර වෙලාවට නිවාඩු තියෙන එක හොදයි කියලා හිතුණත්, මේ මගහැරෙන්නේ කැම්පස් එකේ ලස්සනම දවස් කියන එකත් හිතෙන්නෙ නැතුවම නෙමෙයි. කොහොමහරි මගේ කැම්පස් ජීවිතයේ මෙතෙක් ගත වුණු ලස්සන දවස්, නරක දවස් මේ වචන අස්සේ ගොනු කරන්න තමයි මං මේ හදන්නේ.

කැම්පස් යනවා කියලා මං ඉස්සෙල්ලම හිතාගත්තෙත් 9 වසරේ අගෝස්තු වගේ කාලෙක. ඒ පේරාදෙණිය කැම්පස් එකෙන් කරපු තරගෙකින් දිනලා ඒකෙ සහතික ගන්න ගියපු දවසේ. එදා මං පේරදෙණිය කැම්පස් එක දැකපු විදිහ දැණුනු විදිහ කියන්න වෙනම ලිපියක් ලියන්න වෙනවා. කොහොමහරි අන්තිමට මං නැවතුණේ පේරදෙනියේ නම් නෙමෙයි තුන්මුල්ලේ. 138 බස් එකක් ඇවිත් තුන්මුල්ලෙන් බැහැලා මේකෙ ලස්සන බලන්නම ඕනේ කිව්වට මං දකින්න කලින් නම් විශ්වාස කළේ නැතිතරම්. හැබැයි ආර්ට් එකේ ගේට්ටුවෙන් ඇතුල්වුණ් පළවෙනි දවසේ මට දැණුනු හැගීමත් මට වචනවලට කියන්න බැරි තරම්. මං වචනවලට හැරෙව්වොත් ඒ හැගීම නැතිවෙලා යයි. ඒ නිසා ඒක හිතේ තියාගෙනම අපි යමු ඉස්සරහට මගේ කතාව අහන්න. කොහොමහරි ආපු පළවෙනි දවසේ මට යාලුවෙක් හිටියේ නෑ. ඔරියන්ටේෂන් ආවම යාලුවෙක් හම්බුණා. අද මගේ යාලුවෝ මාව එක්කගෙන කැම්පස් එක ඇතුලේ යන්නෙ හරිම අමරුවෙන් මට කෑ ගහ ගහ. මට කතා කරන්න මග දිගට යාලුවෝ! ඒ විතරක් නෙමෙයි හවසට කැන්ටින් එකේ ආප්පයක් කාලා තේ එකක් බීලා පැය ගනන් කතා කරන්න තරම් අපිට රස කතා! 

කැම්පස් එක කියන්නේ ඇකඩ්මික්ස් විතරක් නෙමෙයි කියන්නේ අපිට ඇහෙන හරි හුරු පුරුදු කතාවක්. හැබැයි ඇකඩ්මික්ස් එක්ක අනිත් හැම බාහිර ක්‍රියාකාරකමක්ම කරගෙන ගියොත් තමයි තවත් ලස්සන. මාත් තාම ඒකට හුරු වෙන ගමන්, සහ මං දකින ජ්‍යේශ්ඨයොත් එහෙමම කරනවා. මං හැමදාම එයාලාගෙන් ඉගෙන ගන්නවා. මං කවදවත් හිතුවේ නෑ, මගේ හීන මෙච්චර ලස්සනට මේ අම්බලමෙන් උඩට නැගපු කොරිඩෝ අතර ලියවෙයි කියලා! 

මගේ ලොකුම දිනාගැනීම වුණේ මං කැම්පස් එකට ඇවිත් මාස 7කින් මං කම්පස් එකේ තියෙන ප්‍රධාන ක්ලබ් එකක සභාපති තනතුරට පත් වීම. ඒක එදා ලොකු බරක් වගේම සතුටක් විදිහටත් මට දැනුණා. එදා ඉදන් අද වෙනකන් මං මාව විශ්වාස කළ අය වෙනුවෙන් මං වෙනුවෙන් හීන දැකපු අය වෙනුවෙන් සහ අවසානයේ මං වෙනුවෙනුත් මං ඒ යුතුකම් ඉශ්ට කරන ගමන්! 

එතනින් එහාට කතා කළොත් කැම්පස් එකේ තරගවලට සහභාගී වුණ එක. වැඩසටහන් නිවේදය කළා. තව.. ප්‍රදර්ශනේකට චිත්‍රෙකුත් ඇන්දා මං! ක්ලබ් එකක Best Content Writer of the Year 2023 අවෝර්ඩ් එකකුත් දින්නා. හැමදේම මං මතක් කරන්නේ ලස්සන හිනාවක් එක්ක. රොටරැක්ට් එකේ ප්‍රොජෙක්ට්ස්වලට එකතු වෙලා ස්ටෝල්ස් දැම්ම විදි, කවදවත් එවෙන්ට් එකක් ප්ලෑන් නොකර ඒත් ගොඩක් හොදට ඕ සැන්ටා නත්තල් උත්සවය කරපු විදිය! මගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක විදිහට Into the Future ප්‍රොමොටින් කැම්පේග්න් එකක් කරන්න කියලා QR Code එක අරන් මමයි යාලුවයි Arcade ගියපු දවස! හැමදේම අමතක කරන්න බැරි ලස්සන මතක. හය්යෙන් වැහැපු දවසක මමයි මගේ ‍යාලුවෝ දෙන්නයි බෑග් කවුන්ටර් එක ඉස්සරහා පැය ගානක් ඉදගෙන හිටපු විදිහ, අපි හිනාවුණ විදිහ! ගෙවල්වලට බෝඩිම්වලට යන්න ගානක්වත් නැතුව ඕප දූප කතා කරපු දවස්! මං මේක ලියනවට වඩා ආයෙම ඒ මොහොත විදිනවා මොකද එච්චරටම සමහර මතක ලස්සනයි. 

කැම්පස් එන්න කලින් පිට කොහෙවත් යවලා තිබුණේ නැති ළමයෙක් විදිහට කැම්පස් එකට ආවම මං ඉගෙන ගත්ත දේවල් ගොඩයි. කොටින්ම තමන්ගේ වැඩ තනියම කරගන්න විදිහ පවා කැම්පස් ජීවිතෙන් මට ලැබුණු පාඩම්! පවුලෙන් ඈත්වෙලා කොළඹ ඇවිත් තනියම මගේ වැඩ කරගන්න මං ටික ටික ඉගෙන ගත්තා! තාම ඉගෙන ගන්නවා කියලා මං ඒක වෙනස් කරන්නම්. ඉතින් කැම්පස් එක නිසා මට ලැබුණ දේවල් වචනවලට සීමා කරන්න අමාරු තරම්!

හැමදේකම හොද සහ නරක දෙපැත්තක් තියෙන නිසා මං මේ ටිකත් කියන්නම්. කැම්පස් එන්න වුණ නිසා ගෙදරින් දුර එන්න වුණ එක ගොඩක් වෙලාවට අමාරුයි. තනියම වැඩ කරගන්නත් මුල් කාලේ ගොඩක් අමාරු වුණා. සමහර වෙලාවට උදේට නැගිටින්නත් පරක්කු වෙනවා. අනිත් දේ අපි හැමෝටම දැනෙන අක්ඩ්මික් ස්ට්‍රෙස් එක. සමහර දවස් ගෙවන්නත් ගොඩක් අමාරු වුණා. 

හැබැයි ඒ හැමදෙයක් අවසානෙම තියෙන්නේ සතුටක්! මේ හැම මතකයක්ම කැම්පස් එකේ මගේ පළවෙනි අවුරුද්ද ලස්සන කළා! නොදැනිම අවුරුද්දක් ගියා! මේ වර්ජනය නතර වෙලා තිබුණා නම් මං දෙවෙනි වසරේ, ඒත් තාම පළවෙනි අවුරුද්දේ අන්තිම පේපර් දෙක ලියාගන්න බැරුව ගෙදරට හිරවෙලා ඉන්න මං,

Rtr. හසංකි නිම්තරා

Share this content:

Leave a Reply

Your email address will not be published.