මුඩුක්කු යට ඇඩ්‍රස් නැති ජීවිතවල රූපමය පුනර් කියවීම

මුඩුක්කු යට ඇඩ්‍රස් නැති ජීවිතවල රූපමය පුනර් කියවීම

ඇඩ්‍රස් නෑ සිනමා කෘතිය පිළිබඳ කෙටි විවරණයකි 

“ආලෝකය ඉපදුන ද අන්ධකාරය ද ඉපදුනේය 

පොහොසත්කම ඉපදුන ද දුප්පත්කම ද ඉපදුනේය 

රජුන් ඉපදුන ද සිගන්නන් ද ඉපදුනේය”    

  (ඇඩ්‍රස් නෑ සිනමා පටයෙනි)

ලෝකය සෑම විට ම පරස්පරතාවයන්ගෙන් යුක්ත වන්නේ ය. අපි එය විවිධත්වය යැයි හඳුනා ගනිමු. එහෙත් එම විවිධත්වය තුළ සෑම විට ම කිසියම් පාර්ශවයක් අසාධාරණයට පත් වන්නේය. එම අසාධාරණය කවදා අවසන් වේදැයි අප නොදනිතත් ඒ පිළිබඳ සමාජ කතිකාවත විටින් විට සමාජ අවකාශයේ මතු වෙයි. මෙම ලිපියෙහි අවධානයට නතු කරන “ඇඩ්‍රස් නෑ” සිනමා නිර්මාණය ද එවැනි සමාජ ගැටලුවක් තේමාව බවට පත් කර ගනියි. එම සමාජ ගැටලුවේ අංශ කිහිපයක් ස්පර්ශ කරමින් ඒ පිළිබඳ පුනර්කතිකාවතක් ඇති කිරීමට නිර්මාණාත්මක වෑයමක් දරයි.

ජැක්සන් ඇන්තනී විසින් තිර රචනය හා අධ්‍යක්ෂණය කෙරුණු මෙම නිර්මාණයේ තිර පිටපත වඩාත් පර්යේෂණාත්මක පසුතලයක සිට ශ්‍රී ලාංකික සමාජයේ සැබෑ තොරතුරු ඊට පාදක කරගන්නට ඇති බව මෙහි නාමාවලියේ මෙවැනි සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන්ට සුප්‍රසිද්ධ විද්වතුන්ට පිදෙන ස්තූතියෙන් නිගමනය කළ හැකි වේ. මෙහි සාකච්ඡාවට ගැනෙන ගැටලුව මෙරටට පමණක් සීමා වූවක් නොවෙයි. එහි මූලාරම්භය කාර්මික විප්ලව සමයේ යුරෝපය තෙක් විහිදී යයි. ලෝකයේ නගර නිර්මාණය ඇරඹුණු දා පටන් එවැනි නාගරික ජනාවාස ආශ්‍රිතව ඇති වුණු මූලික සමාජ ප්‍රශ්න කිහිපයකි . මුඩුක්කු හා පැල්පත් නිවාස ඒවා ආශ්‍රිත ව සිදුවන සමාජ විරෝධී ක්‍රියාකාරකම් ද එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ද ඒ අතර කැපී පෙනෙයි. ලෝකයේ ඕනෑ ම නාගරික කලාපයක් ආශ්‍රිත ව මෙම තත්ත්වය දැකගත හැකි වෙයි.

ශ්‍රී ලංකාවේ නාගරීකරණය 18%ක් තරම් සුළු වුවත් එම ගැටලු මෙරට ද එලෙස පවතින බව නොරහසකි. විශේෂයෙන් කොළඹ නාගරික කලාපය තුළ මෙම මුඩුක්කු හා පැල්පත් නිවාසයන්හි සමාජ – ආර්ථික ගැටලු වඩාත් සංකීර්ණ ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙම සිනමා කෘතිය පුරාවට සාකච්ඡාවට ගැනෙන්නේ “නාසිවත්ත” මුඩුක්කු නිවාස සංකීර්ණයේ සමාජ , ආර්ථික හා දේශපාලනික පැතිකඩයි.නාසිවත්තේ හිට්ලර්ගේ අධිපති පාලනය ද පින්සර මුදලාලිගේ සත්ගුණවත් බවේ වෙස් මුහුණු පැළඳ වූ ප්‍රචණ්ඩකාරී දේශපාලනය ද ඒ සියලු පීඩන බලවේගයන්ට නාසිවත්ත ජනතාවගේ ප්‍රතික්‍රියාව ද මැනවින් නිරූපණය වෙයි. උදෑසන සිට රාත්‍රිය දක්වා ඔවුන්ගේ දෛනික ජීවන අරගලය කෙබඳු එකක් ද එහි ගැබ්ව ඇති පීඩනය ආ අසාධාරණයන් දවඩාත් පුළුල් කැමරා කෝණයකින් ප්‍රේක්ෂකයා වෙත ගෙනැවිත් තිබෙයි. එහිදී ද කුඩා දරුවන්, මහල්ලන්, තරුණයන් , වැන්දඹුවන් , තරුණයින් සහ මව්වරුන් ආදී සෑම වයස් කාණ්ඩයක් ම මෙම සමාජ පීඩනයට නතුවන ආකාරය අවධානයට ලක් වෙයි. එම ප්‍රචණ්ඩකාරී සමාජ සන්දර්භය තුළ සමාජානුයෝජනය වන කුඩා දරුවන්ගේ ඉරණම පවා සිනමාකරු සියුම්ව ස්පර්ශ කරයි.

මුඩුක්කු වහලවල් යට ස්ථිර ලිපිනයක් නැති මේ ජීවිතවල ඉරණම ද අස්ථිරය. ඒ මිනිස් ජීවිත හා ඔවුන්ගේ මානව හිමිකම්හි අගකීමක් දරනට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. එවැනි පීඩාවන් මැද ඇඳී යන සිනමාපටයෙහි ගතිකත්වය ගොඩනංවන්නේ හා එහි පෙරටුගාමි බලවේගය බවට පත් වන්නේ නීතිවේදී ශිෂ්‍ය ප්‍රජාවයි, ස්වකීය ශාස්ත්‍රීය හා වෘත්තීය  පසුබිම තුළ වඩාත් ස්වාධීන චින්තනයක් ප්‍රකට කරන මෙම ශිෂ්‍යයෝ මෙම සමාජ ගැටලුව අධ්‍යයනයට යොමු වෙති. සමාජ කතිකාවතක් ඇරඹති. අපට ද ඔවුන් සමඟින් එම කතිකාවතට ප්‍රවේශ වන්නට ආරාධනා කරති. ඒ සියල්ල අතරෙහි සියුම්ව ගෙතෙන ප්‍රේම අන්දරය කතාවේ වියමන සවිමත් කර එය වඩාත් අනපේක්ෂිත අවසානයක් කරා රැගෙන යෑමට සමත් වෙයි.පැල්පත්වාසීන් මුහුණ දෙන ගැටලු හා ඔවුන්ගේ ජීවන පැතිකඩ පිළිබඳ කතිකාවත දුලබවූවක් නොවෙයි.නමුත් මෙම ජීවන පරිසරය තුළ ඔවුන්ගේ මනෝභාවයන්, බලාපොරොත්තු හා චිත්තාභ්‍යන්තරික ප්‍රාර්ථනාවන් පිළිබඳ සංවාදය සමාජයට මඟ හැරුණකි. මෙම සිනමා කෘතිය වඩාත් සුවිශේෂී වන්නේ මෙහි ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරික පැතිකඩ පිළිබඳව ද අවධානය යොමු කරන නිසාවෙනි. පින්සාර මුදලාලි නිසා සන්ධ්‍යා ලැබූ දරුවා පිළිබඳ හිට්ලර්ගේ හා චාලිගේ ක්‍රියා කලාපය එවැනි අවස්ථාවකි. නමුත් ඉන් ඔබ්බට විහිදී ගිය ප්‍රබල අවස්ථාවක් මෙහි ඇතුළත් කොට ඇතත් එය ප්‍රේක්ෂකයන්ගේ අවධානය කොතෙක් දිනාගත්තාදැයි නිශ්චිත නොවෙයි. එම දර්ශනය සඳහා වෙන් කර තිබූ කාල අවකාශයේ මඳකම ඊට හේතුවන්නට ඇත. හිට්ලර් වැඩ නිමා නොකළ තට්ටු නිවාස සංකීර්ණයක් දෙස බලා සිටින අවස්ථාව එයයි. කතා අවසානයේ ඔහුගේ මුවඟට නංවන දෙබසින් ඔවුන් මෙම නිවාස සංකීර්ණය ඉඳිවන තෙක් මග බලා සිටි බව කියැවෙයි. තමන් ගෙවන අස්ථිර ජීවිතය වෙනසක් දකින්නට ඔවුන් තුළ පැවති ප්‍රාර්ථනාව ඉන් ප්‍රකට කෙරෙයි. එලෙසම නාගරීකරණය ආශ්‍රිත ගැටලු විසඳීම හා අවම කිරීම කෙරෙහි තිරසර ප්‍රතිපත්ති අනුගමනය නොකරන රාජ්‍ය පාලන තන්ත්‍රය ද එමඟින් ඍජුව ම ප්‍රශ්න කරයි. එහෙත් එම සංවාදය වෙනුවෙන් වෙන්කර තිබූ සිනමා කාලය කෙතරම් ප්‍රමාණවත් ද යන්න නැවත සලකා බැලිය යුතුයි. එඩාත් ස්පර්ශ කළ යුතු ව තිබුණේ එම අංශය බව හැඟෙයි .

කෙසේ නමුත් මෙම සිනමා කෘතියේ තරම් සාත්වික අභිනය ප්‍රබලව යොදාගත් අන්‍ය සිනමා පටයක් සිහි කළ නොහැකි වෙයි. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ප්‍රබලයන් රැසක් මෙහි ප්‍රමුඛ චරිත මෙහෙය වීම ඊට හේතුවන්නට ඇත. මුහුණෙහි සියුම් ඉංගිතයකින් පවා ප්‍රබල පණිවිඩ ප්‍රේරණය කිරීමට ඔවුහු සමත් වෙති.සමස්තයක් වශයෙන් “ඇඩ්‍රස් නෑ” යනු මෙරට නාගරික කළමනාකරණය පිළිබද වගකිව යුතු නිලධාරීන්ගේ ඇඩ්‍රස් නැති කළ කලා නිර්මාණයකි. සමාජය තුළ කතිකාවත් නිර්මාණය කළ හැකි මෙවැනි ඉදිරිගාමී නිර්මාණ කලා ලෝකයට ආලෝකයකි.

Rtr. කවීෂා හංසි

Share this content:

1 COMMENT

comments user
Anonymous

Excellent review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *