වචන ගළපන්නෙකුගේ  හදවත 

වචන ගළපන්නෙකුගේ  හදවත 

රොටරැක්ට් කතුවැකියේ දෙවසරක මතක 

ඉන්න තැනක ඉන්න බව දැනෙන්න සලස්වන එක මගේ සාමාන්‍ය ජීවන ලක්ෂණයක් බව බොහෝ අය දන්නවා . මං එහෙම කරන්නෙ ම ඒ ස්ථානයෙන් හරි ඒ අවස්ථාවෙන් හරි උපරිම ප්‍රයෝජනයක් ගන්න මට තියෙන ආසාව නිසාමයි . ඒ නිසා ම විශ්වවිද්‍යාල ජීවිතයේත් උපරිම ප්‍රයෝජන ගන්න පළවෙනි දවසෙදි ම මම හිතාගත්ත . ඒ නිසා අධ්‍යයන කටයුතු වගේ ම විෂය බාහිර කටයුතු ගැනත් මට ලොකු උනන්දුවක් තිබ්බ . සිව් වසරක උපාධි අපේක්ෂක ජීවිතයේ දෙවසරක් අවසන වෙමින් තියෙන මොහොතක් මේ ගෙවෙන්නෙ . ඉතින් ඒ දෙවසර පුරා ම සරසවි ජීවිතයේ වචන හා බැඳුණු රොටරැක්ට්මය මතකය ඔබත් එක්ක බෙදා ගන්නයි මං මේ සූදානම් වෙන්නෙ . රොටරැක්ට් කතුවැකියේ ඒ ගෙවුණු කාලය පිළිබඳ මේ මතක සටහන කතුවැකිය වෙනුවෙන් ලියැවෙන අවසාන සටහන බවට පත්වේවි . කවි , ගීත , ලිපි , පරිවර්තන වගේ ම අවසානයක් නැති කෙටි සංස්කරණ අතර ඒ ගොනු වුණු වචන ජීවිතයේ එක් කාර්තුවක ලැවැන්ඩර් සුවඳක් වෙලා ඉතිරි වේවි . සමුගන්න දුක වුණත් පරපුරෙන් පරපුරට සරසවියේ වත්කම් පවරා දෙන්න කාලයයි මේ . 

අදටත් මට මතකයි හදිස්සියේ ම මම රොටරැක්ට් සංගමයට එකතු වුණු විදිය . ඒකට හේතුව කථික හා විවාද තරඟයක් කියල කිව්වොත් ඔබට පුදුම හිතෙයි නේද ? ඒ තරඟය සංවිධානය කළේ මොරටුව විශ්වවිද්‍යාලීය රොටරැක්ට් සමාජය. නමුත් ඒ තරඟය විවෘත වුණේ රොටරැක්ට්වරුන්ට ම විතරයි. ඉතින් මම රොටරැක්ට්වරයෙක් නොවී කොහොමද ? ඔන්න ඉතින් එක හවසක හදිස්සියේ ම එවකට සාමාජිකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක අය්යාගේ උදව්වෙන් මට රොටරැක්ට් සාමාජිකත්වය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. නමුත් අවාසනාවක තරම ඒ කථික හා විවාද තරඟයට ඒ වෙනකොටත් අපේ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් වෙනත් පිරිසක් ඉදිරිපත් වෙලා නිසා අපිට අවස්ථාව නොලැබී යනව. හ්ම්ම්… දැන් ඉතින් මේ සංගම් සාමාජිකත්වයට මොකද කරන්නෙ? බොරුවට සංගමයක සාමාජිකත්වය ගන්න එක තේරුමක් නෑනෙ. අන්න ඒක මට ඔයාලට මතක් කරන්න ඕනි කාරණාවක්. ඔයාලත් විශ්වවිද්‍යාලයේ සංගමයකට සම්බන්ධ වෙනව නම් ඒ සංගමයෙන් උපරිම ප්‍රයෝජන අරගන්න.එහෙම නැතිව සාමාජිකත්වය ගත්තයින් පස්සෙන් කිසි ම දේකට සහභාගි නොවී ඉන්න එක අපරාධයක්. ඔන්න ඔය හින්ද මම හිතුව කතුවැකියට සම්බන්ධ වෙන්න. ඉතින් මම කොහොමත් පොඩි පොඩි දේවල් ලියන්න ආසයිනෙ. ඉතින් මුලින් ම මම ලියපු කවි තමයි රොටරැක්ට් බ්ලොග් අඩවියේ පළවුණේ. ඒත් එක්කම මට විශේෂ අවස්ථාවක් ලැබුණා ජ’පුර විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සංගමයේ වාර්ෂික සඟරාවට දායක වෙන්න. Meraki සඟරාවට මම යොමු කරපු කවි පහ ම ඔවුන් තෝරාගෙන තිබුණා. ඉතින් මේ විදියට Meraki වාර්ෂික සඟරාවේ දී කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කිරීම වෙනුවෙන් මාව අගය කරන්නත් ආදරණීය රොටරැක්ට්වරු අමතක කළේ නෑ . කවි, කෙටි ලිපි සමඟ ගෙවුණු ඒ රොටරි වර්ෂය බොහොම ඉක්මනින් අවසන් වුණා. ඊළඟ රොටරි වර්ෂය වඩාත් සුවිශේෂ එකක් බවට පත් වුණා . ඒකට හේතුව වර්තමාන රොටරැක්ට් සභාපති සොයුරාගෙ ආරාධනයෙන් සිංහල භාෂා සංස්කරණ කටයුතුවලට සම සංස්කාරකවරුන් සමඟ එකතු වෙලා කටයුතු කරන්න අවස්ථාව ලැබීම. එතැන්සිට පළවුණු බොහෝ සිංහල දැන්වීම්, කෙටි ලිපි ආදියේ සිංහල භාෂා සංස්කරණ කටයුතු සිදුවුණේ මගේ අතින්. ඉතින් ලියන්නෙක්ට ඊටවඩා ආඩම්බරකාර සතුටක් තියෙනවා ද? මේ අවසන් වෙමින් තියෙන්නෙ ලිපි, විචාර, කවි වගේ ම වාර්තා පරිවර්තන සමඟ ගෙවුණු ඒ කාර්‍යබහුල රොටරැක්ට් වර්ෂය. 

වසර දෙකක රොටරැක්ට් කතුවැකියේ සක්‍රීය සාමාජිකයෙක් වීම සරසවි ජීවිතයේ තවත් ඉතා වටිනා අවස්ථාවක් වුණා. දැන් මගේ ජීවන කියමන දන්නව ද? “My Network is My Networth.” අනිත් සංගම් වගේ ම රොටරැක්ට් හරහාත් අලුත් මිතුරන් විශාල ප්‍රමාණයක් අඳුරගන්න ඉඩකඩ සැලසුණා. විශේෂ ම දේ තමයි , ඒ හැමදෙනාම දක්ෂ හා උනන්දු අපූරු අය වීම. ඉතින් ඒ වගේ ආදරණීය හා සුවිශේෂී හදවත් නිසා අපේ ජීවිතය වඩාත් වර්ණවත් වෙනවා. ඒ වගේ ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජයේ වාර්ෂික සඟරාව 2023 සහ 2024 වර්ෂ දෙකේදී ම නියෝජනය කරන්න ලැබීමත් රොටරැක්ට්වරයෙක් ලෙස මං ලබපු ජයග්‍රහණයක්. ඒ වගේ ම කොළඹ විශ්වවිද්‍යාලයීය මූල්‍ය හා කළමනාකරණ පීඨ රොටරැක්ට් සමාජය මෙහෙයවූ Wordsville තරඟාවලියේ කුසලතා සම්මානය හිමි කර ගැනීමත් විශේෂ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවල දී එම රොටරැක්ට් සමාජවල මිතුරන් හඳුනාගැනීමටත් මට ඉඩකඩ ලැබුණා. පරිවර්තන කටයුතු ගැන බොහෝ අත්දැකීම් මට කතුවැකියේ වැඩ කටයුතු ඔස්සේ ලබාගන්නට හැකි වුණ. ඒ විදියට රොටරැක්ට් මතකය රන් පැහැති මතකයක් විදියට හඳුන්වා දෙන්න මට පුළුවන්. ඒ වගේ ම ඒ අත්දැකීම් බොහොම ප්‍රයෝජනවත් වුණා.

කිසිවෙකුට තමන්ගේ සාර්ථකත්වයේ ගමන තනිවම යන්න බොහොම අපහසුයි. මේ ආවර්ජනය කරන සුන්දර මතකයනුත් තනිව මං ගොඩනඟා ගත් ඒවා නෙවෙයි. ඒ සියල්ල පිටුපසින් මාව දිරිගන්වන්න , සහය වෙන්න ආදරණීය හදවත් ඉඳියා. රොටරැක්ට් සංස්කාරකවරුන් හැමවෙලාවෙ ම බොහොම ආදරණීය , ධෛර්‍යවන්ත අය. වෙනත් වැඩ එක්ක මම කාර්‍යබහුල වෙනකොට මගේ වැඩ කොටස කළමනාකරණය කරගන්න ඔවුන් බොහොම උදව් කළා. ඒ වගේ ම මට වඩාත් පහසු කලාපයක් නිර්මාණය කර දෙන්නත් , මා වෙනුවෙන් පෙනී ඉන්නත් මේ ආදරණීය සංස්කාරකවරු අමතක කළේ නෑ. මං නිර්මාණය  කරන කුඩා ම ලේඛනයක වුණත් ගුණදොස් මා එක්ක කතා කරන එක , මාව අගය කරන එක , විශ්වවිද්‍යාලයේදි මුණගැසුණු විටත් ආදරෙන් කතාබහ කරන එක කවදාවත් ඔවුන් අතින් මඟඇරුණෙ නෑ. හැමවෙලාවක ම හිනාව දරාගෙන හිටපු මේ සංස්කාරකවරු මෙතෙක් මට හමුවුණු හොඳ ම සංස්කාරකවරු බව නොකියා ම බෑ . ඇතැම්විට ඔවුන් හමුනොවුණා නම් මේ තරම් සාර්ථක ගමනක් රොටරැක්ට්වරයෙක් විදියට ළඟා කරගන්න මට නොහැකි වෙන්නත් තිබුණා. ඉතින් ඒ ආදරණීයන්ට හදවතින් ම ස්තූතියි කරන්න මං කැමතියි. මේ වර්ෂ දෙක පුරා මා සමඟ රැඳී සිටි සහෝදර රොටරැක්ටර්වරුන්වත් මං මේ මොහොතේ මතක් කරන්න කැමතියි. ඉතින් ඒ සියලු දෙනාට ම හදවතින් ම සුබ පතන්න මීට වඩා හොඳ අවස්ථාවක් තවත් නැතුව ඇති. මේ ගමන මෙතනින් නවතීවි. එහෙත් මේ මතක සහ අත්දැකීම් සදාකාලික වේවි ! ලියන්නෙකුගේ හදවත එවැනි මතක ආදරයෙන් වැළඳගනීවි.

“ජීවිතයට ආඩම්බරකාර මතකයන් අවශ්‍ය වන්නේ අප කැබලිවලට බිඳී ගිය පසු යළි ගොඩනැඟී සිටීමට අභිප්‍රේරණය සැපයීමටයි.”

Rtr. කවීෂා හංසි

Share this content:

Leave a Reply

Your email address will not be published.