ඡායා
BY Rtr. Dulanya Herath
(මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරිණි. නම් ගම් මනඃකල්පිතයි.)
නංගි, මම හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ ලෝකේ සමහර දේවල් තියෙනවා අපිට යථාර්ථය අස්සේ පැහැදිළි කරන්න බැරි. මේ එහෙම කතාවක්.
අපේ ඉස්කෝලේ හොස්ටල් එකේ තියෙන්නේ රූම්ස් නෙවෙයි. ඩෝර්ම්ස්. ඒවා නිකං ඉස්පිරිතාල වාට්ටු වගේ. ලොකු හෝල් එකක ඇඳන් දාලා තියෙනවා හැටක් විතර. අපි නවය වසරේ ඉන්නකොට අපිට තිබුණු ඩෝර්ම් එකේ අපියි, අට වසරේ නංගිලායි දෙගොල්ලොම හිටියා. ඒක තට්ටු දෙකක ගොඩනැගිල්ලක උඩ තට්ටුව. ඒ තට්ටුවට කාමර දෙකයි. අපේ ඩෝර්ම් එක වුණු හෝල් එකයි, ඊට පිටිපස්සෙන් අපි සික් රූම් එක කියලා කියපු වහලා දාපු හිස් කාමරෙයි. වහලා දැම්මා කිව්වට ඒ කාමරේ ලොක් කරලා තිබුණේ නෑ. මං ඒකට ගිහින් තියෙනවා. ඒක නිකංම කැඩුණු ඇඳන් දෙකක් විතර ගොඩගහලා තිබුණු හිස් කාමරයක්. ඔය කාමරේ එක්කම බිත්තියෙන් මෙහා පැත්තේ ඇඳවල් ටික නංගිලාගේ. අපේ ඇඳවල් තිබුණේ මෙහා කොණේ.
එදා ඉස්කෝලේ අවුරුද්දට වාරාවසාන නිවාඩු දෙන්න කලින් දවසේ රෑ. මේ සහරාන් ගහන්න කලින්. ඒ කියන්නේ අවුරුද්දට මාස තුනක් නිවාඩු තිබුණු, දවස් දෙකක් වෙනුවට සිංහල අලුත් අවුරුද්දට සති දෙකක් නිවාඩු හම්බුණු කාලේ. ඉතින් ටර්ම් ටෙස්ට් ඉවර වුණාම ළමයි ගෙදර යන්න ඉන්නේ ඇඟිලි ගැන ගැන. විශේෂෙන්ම මේ හොස්ටල් ළමයි. උන්ට ඔය රෑ හරි දිගයි.
හොස්ටල් එක එකම කලබලයක්. ළමයි ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඒ බෑග් ළමයිට වඩා ලොකුයි. ඔය අතරේ තැන් තැන්වල එකේක කතාබහවල්. ගෙදර යන්න කොච්චර සාංකාව තිබ්බත් පැය විසිහතරම එකට ඉන්න යාළුවෝ ටික සති දෙකකට දකින්න නෑ කියද්දි ඒක ඊට වඩා අවුල්. ඉතින් එකේක ග්‍රේඩ් එකේක විදිහට සමුගන්නවා. සමහරු සෙට් එකම එකතු වෙලා යකඩ ඇඳකට තට්ටු කර කර බජව් දානවා. තවත් සමහරු අපේ ඉස්කෝලේ සෙන්ට් ක්ලෙයාර්ස් එක කියලා හිතාගෙන රෑ දොළහට පාටියක් දාන්න මේට්‍රන්ට හොරෙන් කෑම බීම හංගනවා. වෙනදට දුම්මල වරම අතට අරන් ඉන්න මේට්රනුත් ළමයි ටික යනවට දුකෙන් ද කොහෙද වෙනදටත් එක්ක හරියන්න පලු යන්න බනිනවා. ඒක හොස්ටල් ළමයෙක් විතරක්ම දන්න එකම කාලගෝට්ටියක්.
අට වසරේ නංගිලා ටික ඔක්කොම ඩෝර්ම් එකට ගිහින්. සිංදු කියන සද්දයක් ඇහෙන්නෙත් නෑ. ඕප දූප හොයන්න තියෙන වුවමනාවකට නම් නෙවෙයි, නංගිලාට උදව්වක්වත් ඕනේ ඇති කියලා හිතලා බොහෝම සද්භාවයෙන් මමයි, මගේ යාළුවෝ දෙන්නෙක් වුණු හිරුයි, තරූයි ගියා උඩ ඩෝර්ම් එකට.
අපි යනකොට නංගිලා බොහොම බරපතල සාකච්ඡාවක්. මූණුවල බය වගේම අනතුරකුත් ගෑවිලා. ඒ ළමයි දැක්කම අපිටත් බය හිතුණා.
“මොකද ළමයි මේ හොල්මනක් දැකලා වගේ?”
“අක්කි කොහොමද දන්නේ?”
“මොකක්ද?”
“අපි හොල්මනක් දැක්කා කියලා.”
“ඈහ්?” අපි තුන් දෙනාටම එක සැරේ කියවුණා.
“දැක්කා කියන්නේ දැක්කමත් නෙවෙයි අක්කි. ඒ වුණාට රෑ දොළහෙන් පස්සේ සික් රූම් එකේ අඩි සද්දයක් ඇහෙනවා. ජනෙල් වහලා තියෙද්දි කර්ටන්ස් හුළඟට යනවා. අපිට බයයි අක්කි.”
ඒ ළමයි ඒක කියපු විදිහට හොල්මන් කෙසේවෙතත් එතන දෙයක් තියෙනවා කියන එක නම් මට තේරුණා. ඒත් ඕක කිව්වොත් ඔය ළමයි තවත් බය වෙන නිසා මං ඒක ගණං නොගන්න විදිහට හැසිරෙන්න තීරණේ කළා. ඇරත් ඔය නංගිලායි, ඕපෙ හොයන්න ගිය අක්කලා වෙච්ච මගෙ උන් දෙන්නයි දන්නවා මගේ මොළේ ඇණ බුරුල් කියලා. මං හොල්මන්වලට බය නෑ කියලයි, ඊටත් වඩා ඒ ගැන හොයන්න ආසයි කියන්නත් එයාලා දන්නවා.
“හොල්මන් කියන්නේ හෙලවෙන මනසට නංගි. මේ විසිවෙනි සියවසේ කවුද ඕවා විශ්වාස කරන්නේ. මං නම් කියන්නේ ඔයාලා ඕක හිතින් මවාගෙන.”
“හිතින් මවාගෙන කියන්න තිබුණා අක්කි එක්කෙනෙක්ට විතරක් සද්දේ ඇහුනා නම්.”
“හරි එහෙනම්, කාටද එහෙනම් සද්දේ ඇහුණේ?”
මං එහෙම ඇහුවේ නංගිලාගෙන් වුණත් හිරූ ශේප් එකේ මගේ අත තද කරනවා දැනෙද්දි නම් මාව සීතල වුණා. ඒකිගේ ඇඳ තිබුණේ අපේ ග්‍රේඩ් දෙකේ ඇඳවල් වෙන් වෙන බෝඩරේ. ඒකිටත් ඇහිලා තියෙනවා කියන්නේ….
අපි අතරේ වෙන දේ ගැන අදහසක් නොතිබුණු නංගිලා කියාගෙන ගියා.
“අපි දහදෙනෙකුට වඩා ඔය සද්දේ ඇහිලා තියෙනවා. කර්ටන්ස් හෙලවෙන නිසා ජනෙල් ළඟ ඇඳවල් තිබුණු හතර දෙනාම ඒ තැන්වලින් අයින් වුණා. අක්කි ඔහොම කිව්වට අනන්තවත් අපි මහ රෑ නින්ද යන්නේ නැති නිසා දෙන්නා දෙන්නා ඇඳවල්වලට ගුලි වෙලා තුන් සූත්‍රේ විතරක් නෙවෙයි සකස්කඩත් කියලා ඇති ඉතිපිසෝ කියන්න වචන පැටලිලා” ඒ වචන කොහෙත්ම විහිළුවට කියපුවා නම් නෙවෙයි.
මේ වෙනකොට නංගිලා ටික හිටගෙන හිටියේ ජනෙල්වලට පිටුපාලා, අපි තුන්දෙනා දිහාට හැරිලා. අපි ඉස්සරහින් නංගිලා, ඊට පිටිපස්සෙන් ඔය කියන කර්ටන් හෙලවෙන ජනෙල් පේළිය. නංගිලාට නොපෙණුනාට දැන් විනාඩියක දෙකක ඉදලා ජනෙල් වහලා තිබුණත් ඔය කර්ටන් හිමීට හෙලවෙන්න පටන් අරගෙන. හිරුයි තරුයි බයවෙලා වුණත් නංගිලාව බය කරන්න බැරි නිසා කාගෙන අල්ලගෙන ඉන්නවා, උන් දෙන්නගෙම බය දෙපිටින් යන්න දෙන්නම ඩෝර්ම් එකෙන් යමු කියන්න මාව පිටිපස්සෙන් කොනිත්තනවා.
මං මෝඩයි. මමත් නවත්තන්නෙම නැතුව දිගටම ප්‍රශ්න අහනවා.
“ඉතින් ඕක අඩි සද්දයක් කියලා ෂුවර්ද නංගි, වහලේ කලවැද්දෝ වෙන්න බැරිද?”
“ඉතින් කලවැද්දෝ හැමදාම දොළහා පහුවෙනකම් නැකැත් බලනවද අක්කි?”
“ඒක තමයි නේද මේ…” මං අසිහියෙන් වගේ උත්තර දුන්නේ හිරූ දිහාට හැරිලා කොදුරන ගමන්.
“උඹත් දැක්කද?” උත්තර ලැබෙන්න කලින්ම මං උත්තරේ දැනන් හිටියේ උන් දෙන්නා ගල් වෙලා හිටපු හැටියට. අපි තුන් දෙනාම ඒක දැක්කා. ඡායාවක්, මිස්ටේක් වෙන්න බැරි තරමට කොණ්ඩෙ කඩාගත්ත අපි තුන් දෙනා දිහා බලා ඉන්න ගැණු කෙනෙක්ගේ ඡායාවක් හෙලවුණු ජනෙල් රෙද්ද අතරින් අපි දැක්කා. ඒ කොහෙත්ම ඇත්ත මනුස්සයෙක් වෙන්න බැරි වුණේ උඩ තට්ටුවේ ජනේලෙන් අපි දිහා එහෙම බලන්න නම් ඒ ගෑනිට පියාඹන්න පුළුවන් වෙන්න ඕනෙ නිසයි.
“මොකෝ අක්කි එකපාරට සද්දෙ වැහුවේ, හරියට හොල්මනක් දැකලා වගේ.” අපෙන් කිණ්ඩියට අහපු පොඩි එකී දැනන් හිටියේ නෑ ඒ ප්‍රශ්නේ බරපතලකම.
“නෑ-” මට බැරි වුණා. අපේ අක්කාකමේ තත්ත්වේ බේරගන්න නෑ කියන්න හැදුවත් මට බැරි වුණා.
“දඩාං”
හරියටම අපි ඡායාව දැකපු ජනේලේ තිබුණු කර්ටන් එක කඩාගෙන බිම වැටුණා.
“අනේ අක්කී………….” පොඩි උන් ටික කෑ ගහගෙන පහළට දිව්වා.
මං දුවගෙන එනකොට මට ඇඳක් ළඟ ගලවලා තිබුණු සෙරෙප්පු දෙක අමතක වෙලා තිබුණා.
***
හැමදේම ටිකක් හරි සන්සුන් වෙන්න පැය භාගයක් විතර ගියා.
ඒ මුලු වෙලාවම මං හිටියේ පුදුම උද්යෝගයකින්. අනිත් අයට කෙසේ වෙතත් හොස්ටල් එකේ හොල්මනක් ඉදීමේ සම්භාවිතාවක් තියෙනවා කියන අදහස මාව මාරම විදිහට එක්සයිට් කළා. ඒ නිසාම කවුරුත් ආයෙම උඩට යන පාටක් නොතිබුණු තැන සෙරෙප්පු දෙක ගේන මුවාවෙන් තනියම හරි ආයෙම උඩට යන්න මං තීරණය කරලා තිබුණත්, හිරුයි තරුයි මාව හිර කරගෙන හිටියා.
අන්තිමේදී ඡායාව නොදැකපු නංගිලාගේ ග්‍රේඩ් එකේ තද පොරවල් කියලා හිතාගෙන ඉන්න නංගිලා දෙතුන් දෙනෙක්, කර්ටන් එකක් ගැලවුණා කියලා ඩෝර්ම් එක තහනම් කලාපයක් කරන්න හොල්මන්වලට ඉඩ දෙන්නේ නෑ කියලා තීරණේ කරලා තිබුණා. හුළඟට ජනෙල් රෙද්දක් ගැලවිලා වැටෙන එක සාමාන්‍ය දෙයක්නේ.
ඉතින් ඔය විදිහට මමයි, හිරුයි, තරුයි, නංගිලා තුන් හතර දෙනෙකුයි මගේ සෙරෙප්පු දෙක නිරුපද්‍රිතව මුදවා ගැනීමේ මෙහෙයුමට ආයෙම ඩෝර්ම් එකට ගියා.
ඩෝර්ම් එක සාමකාමියි. කිසිම අවුලක් නැහැ. නංගිලා දෙන්නෙක් ගැලවුණු කර්ටන් එක දැම්මා. මම මගේ සෙරෙප්පු දෙක හොයාගත්තා.
මගේ මෝඩ මොළේට සියදිවි නසාගන්න ලෙවල් එකේ උත්කෘෂ්ට අදහසක් ආවේ ඒ වෙලාවේ.
පරණ ෆිල්ම්වල ගමේ චණ්ඩි සරමේ කොන උස්සන් වලියට යනවා වගේ ඇඳගෙන හිටිය මල් මල් චීත්ත ගවුමේ කොනකුත් උස්සගෙන, අනිත් අතින් රබර් සෙරෙප්පුවකුත් අරන් වලි කාපර් කෙනෙක් වගේ මං හිස් ඩෝර්ම් එකට බොරුවට කෑ ගැහුවා.
“අඩෝ…කවුද මේ අපේ නංගිලාව බය කරන හොල්මන. අපේ වැයික්කියේ එහෙම රඟන්න පුළුවන්ද? ප්‍රශ්නයක් තියෙනවා නම් ෆේස් ටු ෆේස් ඇවිත් කතා කරන්න, මේ පොඩි උන් බය කරන්නේ නැතුව. මගේ ඇඳ තියෙන්නේ මේ ජනෙල් පේළියේම එහා කෙරවලේ කොනේ ඇඳ. පොරක් නම් වරෙ-”
“අක්කී….”
“මහී, උඹට පිස්සුද බං, ඉල්ලන් කන්නද හදන්නේ?”
“මේකිට ට්‍රැක් තරූ, එක්ක යමු.”
මං හිස් ඩෝර්ම් එකට කෑ ගහන අතරෙම මගෙ උන් දෙන්නා මාව පහළට ඇදගෙන ආවා.
***
පහුවදා පාන්දර ටී ටයිම් එකේදි අපේ ග්‍රේඩ් එකේ උන්ගේ ප්‍රධාන මාතෘකාව ඕක.
“මහීෂා ආයෙම අඩව්වක් අල්ලලා”
මං කට වහගෙන අහගෙන හිටියා.
“අපේ එකීට පිස්සුනේ බං, හොල්මන්වලින් ගේම ඉල්ලන්න යන්නේ”
“මූ මාර ටෝකක්නේ දීලා තියෙන්නේ, හොල්මන්වලටත් ආතල් ඇති”
“තව ටිකෙන් ගෙවල්වල යන එක පැත්තකින් තියලා හොස්ටල් එකේ තොවිලයක් නටන්න තමා වෙන්නේ”
“තොවිල නැටිල්ල කෙසේ වෙතත් ඕකිට නූලක්වත් මතුරන්න වෙනවා ඔය නැටිල්ල අඩු වෙන්න.”
“ඒ වුණාට හොස්ටල් එකේ පිරිතක් කියයි නේද ළඟදිම, මට නම් බයයිත් වගේ.”
“ඊළඟ මාසේ වෙසක් පෝය අල්ලලාම කියයි, කිව්වොත් හොඳයි අප්පා”
“ ඔව් හලෝ, මේ ඉන්න හොල්මන් ඇති, තවත් ඕනේ නෑ.”
“කියලා වැඩක් නෑ, නංගිලාගේ ග්‍රේඩ් එකෙත් එක ළමයෙක් හීනෙන් ඇවිදිනවා නේද?”
“ඔව් බං. සඳලි. මං ඊයෙත් දැක්කා, මහීගේ ඇඳ ළගට වෙලා මහී දිහා කන්න වගේ බලන් ඉන්නවා, හොල්මනක් වගේ.”
“මාත් දැක්කා, හැබැයි මං දකිද්දි නම් ඒකි මහීට එහා පැත්තේ ඇඳේ ඉඳගෙන ඒකි දිහා බලන් හිටියේ.”
“අඩේ සිරාවට?”
“ඔව් බං”
“ඉතින් මාත් දැක්කා, හැබැයි මං හිතන්නේ මං දැකලා තියෙන්නේ ඔය දෙන්නටම කලින්, මොකද මං දකිද්දි ඒකි මහීගේ ඇඳ දිහාට ඇවිදගෙන යනවා.”
“උඹ වෙලාව බැලුවද?” මං ඇහුවේ මේ කියන දේ අදහා ගන්න බැරුව.
“ඔව්” තුන් දෙනාම එක සැරේ කිව්වා.
“කීයද…”
“03.01”
“03.02”
“03.01”
“අඩෝ….ඒක නිකං ෆිල්ම් එකක් වගේ.”
“කියලා වැඩක් නෑ, ඒකත් මුන් තුන් දෙනාටම එකම විනාඩියේ නැගිට්ටුනු හැටි බලපන්කෝ”
“ Excuse me, අක්කි”
“ආ එන්න එන්න නංගි, අපි මේ ඔයාලාගේ ග්‍රේඩ් එකේ ළමයිගේ හපන්කම් ගැන කතා කර කර හිටියේ”
“කවුරු ගැනද අක්කි”
“කවුද ඉතින්, ඔයාලාගේ හීනෙන් ඇවිදින සිහින කුමාරි ගැන. අන්න අපේ උන් දැකලා හීනෙන් මහීගේ ඇඳ ළඟ සක්වලන් කරලා.”
“සඳලි මහීට ක්‍රෂ්ද බං?”
“ඕයි…” මං කෑ ගැහුවේ ඕවා දුරදිග ගියොත් සෑහෙන්න දරුණු ප්‍රශ්න වෙන බව දැනගෙන.
“උඹ කෑ නොගහ හිටපන්, විහිළුවක්නේ කළේ. ඇත්ත කියන්න නංගි, ඇයි සඳලි හීනෙන් හරි නැතුව හරි අපේ ඇඳවල් ළඟට එන්නේ?”
“අ-අක්කි…” ඒ නංගිගේ කටහඬ වෙවුලන්න අරන් තිබුණා.
“අක්කි තමයි, කියන්න ඉතින්”
“මේ සතියේ සඳලි හොස්ටල් ආවේ නෑ අක්කි, එයා ගිය සතියේ ගෙදර ගියා.”
***
Share this content:
Leave a Reply